sri-lanka-defeat-fear

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් හෙට (21දා) ලක්නව්හි එකානා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ නෙදර්ලන්තය සමගිනි. තරගාවලියේ 19වැනි තරගය ලෙස පැවැත්වෙන මෙය ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ තරගවදින සිව්වැනි තරගයයි.

තරගාවලියේ මේ වනවිට අසාර්ථකම කණ්ඩායම බවට පත්වී සිටින ශ්‍රී ලංකාව ජයගත යුතුම තරගය වන්නේ මෙයයි. තරගාවලියේ අනෙක් සියලුම කණ්ඩායම් එකඳු තරගයක් හෝ ජයගෙන ඇති මේ මොහොතේ, ශ්‍රී ලංකාවටත් ජයග්‍රහණයකට පිවිසීමට ඇති හොඳම අවස්ථාව මෙයයි.

වසර 12කට පසු ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ නෙදර්ලන්තය තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් බවට පත්වූයේ ප්‍රබල කණ්ඩායමක් වූ දකුණු අප්‍රිකාව පරදා ලැබූ සුපිරි ජයත් සමගිනි. ඒ අනුව ඔවුන් කිසිසේත් අවතක්සේරු කළහැකි කණ්ඩායමක් නොවන බව පැහැදිලිය.

නෙදර්ලන්තය ක්‍රීඩා කළ ආකාරය අනුව ඔවුන් දුර්වල කණ්ඩායමක් නොවන බව අපගේ විශ්වාසයයි. ඔවුන් ක්‍රීඩාකළ පළමු තරග දෙකෙහි පරාජයන් ලැබුවද, තෙවැනි තරගයේදී ඔවුන් ක්‍රීඩා කළේ සම්පූර්ණයෙන් වෙනස් ආකාරයකිනි.



තරගයට මනා සැලසුමකින් පැමිණි ඔවුන් තරගය අතරතුරදී ද වරින් වර ඒවා අධ්‍යයනය කරන ආකාරය දක්නට ලැබිණි. තරගය තුළදී නෙදර්ලන්ත පන්දු යැවීම හා පන්දුරැකීම අතිශය ඉහළ මට්ටමක පැවති අතර, ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් ලබා දුන්නේය.

නෙදර්ලන්තය පිතිකරණය තුළ දී පීඩනය ලිහිල් වූ වහාම ලකුණු ලබාගැනීමට ක්‍රියා කළ අතර, පන්දු යැවීමේදී ප්‍රතිවාදීන්ට එම පීඩනය දිගින් දිගටම පවත්වාගැනීම තුළින් කඩුලු බිඳ දැමීමටද ඔවුන්ට හැකිවිය. හෙට තරගයේදී අප පරිස්සම් විය යුත්තේ මෙයිනි.

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට සිම්බාබ්වේ හිදී පැවති තරගාවලියේදී නෙදර්ලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවද, එම ජයග්‍රහණය අත්පත් කරගත්තේ පන්දු යවන්නන් නිසා බව අප මතක තබාගත යුතුය. ඒ හැරෙන්න පිතිකරුවන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් එවර නොලැබුණි.

දඟ පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතීරු වලදී නෙදර්ලන්ත පිතිකරුවන්ගේ පන්දුවට පහරදීමේ හැකියාවට වඩා, පිතිකරුවන්ට වඩාත් හිතකාමී ලක්නව් තණතීරුවේදී ඔවුන්ගෙන් ප්‍රබල තර්ජනයක් ශ්‍රී ලංකාව බලාපොරොත්තු විය යුතුය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදිය යුතු යැයි අප විශ්වාස කරමු. එවිට පීඩනයකින් තොරව ලකුණු අතරට පිවිසීමට පිතිකරුවන්ට හැකිය.

ලකුණු හඹායාමේ අවස්ථාවක් ලැබුණද, තණනිල්ලේ ස්වභාවය තේරුම්ගෙන දුර්වල පන්දුවලින් ලකුණු රැස් කර පීඩනය මගහරවා පහරදීම සිදුකළ යුතුය.

පසුගිය ඔස්ට්‍රේලියානු තරගය තුළ මානස් ලැබුෂේන් හා ජොෂ් ඉන්ග්ලිස් සිදුකළේ එයයි. කෙසේ වෙතත් හෙට තරගය දිවා තරගයක් ලෙස පැවැත්වෙන නිසා රාත්‍රී පින්නෙන් තණනිල්ලට බලපෑමක් ඇතිවීම බලාපොරොත්තු විය නොහැක. නමුත් වැදගත්ම දේ නම් පන්දු යැවීමේදී පිතිකරුවන් වෙත පීඩනය පවත්වා ගැනීමයි.

මෙහීදී කණ්ඩායමේ අත්දැකීම් වැඩිම දඟ පන්දුයවන්නා වන මහීෂ් තීක්ෂණට වැඩි වගකීමක් ඇත. එමෙන්ම වේගපන්දු යවන ඩිල්ෂාන් මධුෂංකද තරගයේ වෙනසක් කළ හැකි පන්දු යවන්නෙකි. ගැටලුව වන්නේ අනෙක් පන්දු යවන්නන් මෙම පීඩනය පවත්වා ගැනීමයි.

අත්දැකීම් අඩු දුනිත් වෙල්ලාලගේ මෙන්ම අත්දැකීම් සහිත ළහිරු කුමාර, කසුන් රාජිතගෙන් වත් කිසිදු පීඩනයක් ප්‍රතිවාදී පිතිකරුවන්ට එල්ල වූ ආකාරයක් තරගාවලිය පුරාම දක්නට නොලැබිණි.

ශ්‍රී ලංකා පිතිකරණය අතින් තරගාවලිය පුරා සිදුවූ දරුණුම පසුබෑමට හේතුවූයේ මැදපෙළින් තරගය දිනවීමට අවශ්‍ය (Impact) ඉනිමක් ගොඩනැංවී නොතිබීමයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් වැඩිම පිතිකරුවෙකු වන ධනංජයද සිල්වා තරගාවලිය පුරාම අසාර්ථක වීම මීට හේතුවක් වූ අතර, ඔහු එම වරද හෙට තරගයේදී නිවැරදි කරගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

තරගාවලියේදී වනිඳු හසරංග වැනි පසුපෙළ ලකුණු වේගය වැඩි කළ හැකි පිතිකරුවෙකුගේ භූමිකාව දුනිත් වෙල්ලාලගේගෙන් නිසියාකාරව ඉටු නොවීමද ශ්‍රී ලංකා පිතිකරණය දුර්වල වීමට හේතුවකි. නමුත් දැන් නැති වාදං කිව නොහැකිය. සිටිනා සංචිතය සමගින් තරග වැදිය යුතුය.

කෙසේ නමුත් ඉන්දීය තණතිලිවලදී අත්දැකීම් අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව කිවයුතුය.

මේ දක්වා දෙරට අතර එක්දින පිටියේදී පවත්වා ඇති තරග 05ම ශ්‍රී ලංකාව ජයගෙන තිබීමද ශ්‍රී ලංකාවට හෙට තරගයේදී ජයග්‍රාහී මානසිකත්වයකට හේතුවක් වනු ඇත. එම නිසා මෙම පහසු ඉලක්කය අපහසු කරනොගෙන ජයග්‍රහණය කරා යාම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වගකීමයි.

ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්

ශ්‍රී ලංකාව -

පැතුම් නිශ්ශංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩි (නායක), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, දුනිල් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර, ඩිල්ගාන් මධුෂංක

නෙදරිලන්තය -

වික්‍රම්පිටි සිං, මැක්ස් ඔඩෝඩ්, කොලීන් ඇකර්මාන්, බස් දෙ ලීඩ්, තෙජා නිදමනුරු, ස්කොට් එඩ්වර්ඩ්ස්, සයිබ්‍රැන්ඩ් එංගල්බ්‍රෙෂ්ට්, ලෝගත් වැන් බීක්, රොලොෆ් වැන් ඩ මර්ච්, ආර්යන් දත්, පෝල් වැන් මීකිරෙන්

තරගය හෙට (21දා) පෙ.ව. 10.30ට ආරම්භ වේ.

-  ඕෂිත වරකපිටිය (ඉන්දියාවේ ලක්නව්හි සිට)