sri-lanka-pakistan-world-cup

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - පාකිස්තාන තරගය අද (10දා) හයිද්‍රාබාද්හිදී පැවැත්වේ. මෙය ශ්‍රී ලංකාව තරගාවලියේ සහභාගි වන දෙවැනි තරගයයි.

තරගාවලියේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ දරුණු පරාජයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට නැවතත් සිය ජයග්‍රහණ මානසිකත්වයට පිවිසීමට ජයගත යුතුම තරගයක් ලෙස මෙය හැඳින්වුවහොත් වරදක් නැත.

එක දිගට එක්දින පිටියේ තරග 14ක් ජය ගෙන ජයග්‍රාහී කණ්ඩායමක් ලෙස වැජඹී සිටි ශ්‍රී ලංකාවට පසුගිය ආසියානු කුසලාන අවසන් මහා තරගයේ සිට සිය ජයග්‍රාහී මානසිකත්වය පැත්තකින් තැබීමට සිදුව ඇත. එම තරගය ඇතුළු මේ දක්වා පැවති තරග 4ක් (ලෝක කුසලාන පුහුණු තරගයද ඇතුළුව) ශ්‍රී ලංකාව අඛණ්ඩව පරාජයට පත්වීම නිසා ඔවුන්ගේ මානසිකත්වයට මේ වනවිට යම් බලපෑමක් ඇති වී තිබෙනු නොඅනුමානය.

අනෙක් අතට පාකිස්තානය මෙම තරගාවලියේ පළමු තරගයෙන් නෙදර්ලන්තය හමුවේ ව්ශිෂ්ට ජයක් ලැබීම ඔවුන්ගේ මානසිකත්වයටද යම් ධනාත්මක බලපෑමක් ඇති කර ඇත.

එම තරගයද ඇතුළුව මෙම ක්‍රීඩාංගණයේ තරග දෙකකට සහභාගි වී සිටීම, පාකිස්තානයට මෙහිදී අතිරේක වාසියක් මතු වී ඇත.

නමුත් පසුගිය කාලය පුරාවටම පාකිස්තාන පිතිකරුවන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ යම් පීඩනයකින් පන්දුවට පහරදීමක් දක්නට ලැබීණි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධානම දඟපන්දු යවන්නා වන මහීෂ් තීක්‍ෂණද කණ්ඩායමට එක්වීම පළමු තරගයට සාපේක්‍ෂව අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය පිළිබඳ විශ්වාසයක් මතු කරයි.

අනෙක් අතට ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා සංචිතයට එක්නොවූ ඩිල්ෂාන් මධුෂංකගෙන් ශ්‍රී ලංකා වේගපන්දු බලඇණියට යම් ජවයක් එක් කරගත හැකිය.

දකුණු අප්‍රිකාව සමගින් පැවති පළමු තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු බලඇණියෙන් කිසිදු පීඩනයක් එල්ලවන අන්දමේ පන්දු යැවීමක් දැකගත නොවිණ.

විශේෂයෙන් නැගී එන වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ පන්දුවේ එල්ලය පිළිබඳ විශාල ගැටලුවක් මතු වූ අතර දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට රිසිසේ ලකුණු රැස් කිරීමට එය පිටිවහලක් විය.

මේ අතර ඊයේ (09දා) තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් පැවසුවේ අද තරගයට මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන බවයි.

හයිද්‍රාබාද් තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලෙස ප්‍රකට අතර කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන්නොත් අනෙක් කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට දැවැන්ත ලකුණු පුවරුවකට පැමිණිය යුතුව ඇත.

කෙසේ වෙතත් ආසියානු කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළෙහි යම් ස්ථාවරත්වයක් ඇති වී තිබීම සතුටුදායක තත්ත්වයකි. විශේෂයෙන් කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක ලකුණු අතරට පිවිසීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල වාසියක් වී තිබේ.

එමෙන්ම කලකට පසු, පසුගිය දකුණු අප්‍රිකානු තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද සිය ප්‍රහාරාත්මක පිතිකරු භූමිකාවට නැවත පැමිණීම, ශ්‍රී ලංකා පිතිකරණයේ සුභ ලකුණක් වේ. ෂාහින් ෂා අෆ්රිඩ්, හැරිස් රාවුෆ් ඇතුළු පාකිස්තාන පන්දු යවන්නන් ශ්‍රී ලංකාවට යම් පීඩනයක් එල්ල කළ හැකි මට්ටමක පසු වුවද,

පාකිස්තාන කණ්ඩායමේ කලක පටන් පවතින නිත්‍ය දඟපන්දු යවන්නෙකු නොමැති වීමේ ගැටලුව ශ්‍රී ලංකා පිතිකරුවන් සිය වාසියට හරවාගත යුතුය. අනෙක් අතට පාකිස්තාන මුපෙළ පිතිකරුවන්ගේ අඩු ස්ථාවරභාවයද මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය වාසියට හරවාගත යුතුය. එහිදී මැදපෙළ පිතිකරුවන් වන මොහොමඩ් රිස්වාන්, සෞද් ෂකීල්, ඉග්නිකාර් අහ්මඩ් වැනි ස්ථාවර මට්ටමේ පිතිකරුවන් පාලනය කිරීමට හැකි වුවහොත් තරගයේ ප්‍රතිඵලය තමන් අතට ගැනීමට ඔවුන්ට අපහසු නොවනු ඇත.

අද තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 2.00ට ආරම්භ වේ.

-ඕෂිත වරකාපිටිය