sri-lankan-nimal-siripala

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා ගණනාවක් පසුගිය දින කිහිපයේදී ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 195 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.මේ හේතුවෙන් මෙම අවස්ථාවේ දී සේවකයන්ට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇති අයිතීන් ද රැකගෙන වෙනත් ගුවන් සේවාවන්ට ගුවන් ගමන් වාර සේවා පැවැත්වීම සඳහා අයිතිය දීමට තීරණය කළ බව ද ඔහු කීවේය.ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක් ද ඒ සඳහා පොලියක් ද ගෙවිය යුතු බව පැවැසූ අමාත්‍යවරයා ගුවන් සේවාවේ ඵලදායිතාව වැඩි කළහොත් ඵලදායිතාව පදනම් කරගෙන සේවකයන්ට යම් ගෙවීමක් කළ හැකි බව ද වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන්නේය.



ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් අටක් පමණ එකවර ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදු වූ අපහසුතා පිළිබඳව කරුණු විමසීම සඳහා එම ගුවන් සේවයේ පාලනාධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (2) පැවැත්විණි. අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ ඒ අවස්ථාවේදීය. ගුවන් යානා ප්‍රමාදය පිළිබඳව ඉංජිනේරුවන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් කරුණු විමසූ අවස්ථාවේ දී ඔවුන් ප්‍රකාශ කළේ ගුවන් යානාවල පැවැති තාක්ෂණික දෝෂ මෙම ප්‍රමාදයට හේතු වූ  බවයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීහු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීම නිසා එම තත්ත්වය උදා වූ බව පෙන්වා දුන්හ.මෙහිදී අමාත්‍යවරයා පැවැසුවේ දැනට ගුවන් මෙහෙයුම් සඳහා යොදවා ඇති යානා විසි එකක් සඳහා ගුවන් නියමුවන් 260 දෙනකු පමණ සිටින බවයි.

ඒ අනුව ගුවන් යානයක් සඳහා ගුවන් නියමුවන් දොළොස් දෙනකු සේවයේ නියුතු බවත් මෙය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බවත් ඔහු පැවැසීය.ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව ගුවන් නියමුවකු මසකට පැය 100 ක කාලයක් පියාසර කළ යුතු වන අතර ලැබී ඇති වාර්තා අනුව, සුගිය කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් නියමුවකු මසකට පියාසර කර ඇත්තේ පැය 60 ක පමණ කාලයක් පමණක් බවද අමාත්‍යවරයා කීවේය.

අවම වශයෙන් පැය අසූවක් පමණ වත් ගුවන් නියමුවකු මසකට පියාසර කළේ නම් මෙවැනි ප්‍රශ්නයක් උදා නොවන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය. මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.කේ. ජයකාන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
සුජිත් හේවාජූලිගේ