sri-lankaurban-population-growth

ශ්‍රී ලංකාවේ නාගරික ජනගහනය 44.57%ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

මෙම සමීක්ෂණයට අනුව මෙරට ප්‍රාදේශීය සභා 276 තුළ පිහිටි ග්‍රාම නිලධාරී වසම් 12,773 අතරින් ග්‍රාම නිලධාරී වසම් 3,025ක් නාගරික ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 23.68%ක් වේ. මෙම සමීක්ෂණයට අනුව මෙරට නාගරික ජනගහන ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කය වන්නේ කොළඹයි. එහි ප්‍රතිශතය 96.74%කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 76.76%ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 67.28%ක ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. අඩුම නාගරික ජනගහන ප්‍රතිශතය වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. එය 2.84%ක් වේ.



නගර හා ග්‍රාම නිර්මාණ පනත අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සමීක්ෂණය සිදුකර තිබේ. ඊට අදාළ වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත භාරදීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරිණ. එය භාරදුන්නේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා විසිනි.

ශ්‍රී ලංකාවේ නාගරිකරණය සම්බන්ධයෙන් අවසන්වරට සමීක්ෂණයක් සිදුකර තිබෙන්නේ 2012 වසරේදීය. එම ජන හා නිවාස සංගණනයට අනුව මෙරට නාගරිකරණය 18.2%කි. යම් ප්‍රදේශයක නාගරිකරණය මැන බලන්නේ නිර්ණායක කිහිපයක් මත පදනම්වය.

ජනගහනය, ජනගහන ඝනත්වය, කිලෝමීටර 10ක් ඇතුළත පිහිටා ඇති සුපිරි වෙළෙඳ සැල් හා සුපිරි ඇඳුම් වෙළෙඳ සැල්, ඉන්ධන හල්, බැංකු, පුද්ගලික පාසල් හා පුද්ගලික රෝහල් ප්‍රමාණය, ග්‍රාම නිලධාරී වසමක් තුළ පිහිටා ඇති තට්ටු නිවාස සංඛ්‍යාව, කුලී සහ බදු පදනම මත ලබා දී ඇති නිවාස ප්‍රතිශතය, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක කෘෂිකර්ම අංශයේ නොවන රැකියා කරන පිරිස කොපමණද වැනි නිර්ණායක ඒ අතර වේ.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණයෙහි අරමුණ වන්නේ මෙරට ප්‍රාදේශීය සභා සීමාවන්හි පිහිටි නාගරික ප්‍රදේශ හඳුනා ගැනීම සහ ඒ සඳහා සුදුසු නිර්ණායක ක්‍රමවත්ව දැක්වීමයි. මෙම සමීක්ෂණය සඳහා උපදෙස් ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු උපදේශන කමිටුවක්ද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කෙරිණ.



මෙම සමීක්ෂණයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම හා කොලොන්නාව ප්‍රාදේශීය සභා දෙක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභා ශීඝ්‍රයෙන් නාගරීකරණය වී ඇති බවට හඳුනාගත් බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශ ද ශීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතින බව ඔහු පැවසීය.

මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඊට පෙර මෙය ජනාධිපතිවරයාට සහ සියලුම දිස්ත්‍රික් කමිටුවලට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලෙස මෙහිදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

-නවෝද්‍යා පවනි