student-health-issues-dopin

පාසල් ළමයින් අපස්මාර රෝග ලක්‍ෂණ ඇතිව රෝහල්ගත වීමේ ප්‍රවණතාව ඉහළ යමින් තිබෙන බවත්, ඊට හේතු සාධක වී ඇත්තේ, පාසල් සිසුන් මත් වීම සඳහා ප්‍රබල වේදනා නාශක අධිමාත්‍රාව බැගින් දීර්ඝ කාලයක් තිස්සේ ලබාගැනීම බව මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා පවසයි.

මීට වසර කිහිපයකට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ අවුරුදු 13-18 අතර පාසල් වයසේ සිසුන් සම්බන්ධ කර ගනිමින් කළ සමීක්‍ෂණයකදී එම සිසුන් අතරින් 28%ක් කුමන හෝ මත්ද්‍රව්‍යක් භාවිත කර තිබෙන බවට හෙළි වූ බවත්, ඒ අතරින් 69%ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගත යුතු මට්ටමේ සිටි බවත් විශේෂඥ මනෝ වෛද්‍යවරයා පවසා සිටියේය.



හෙරොයින් මත්කුඩු ලබාගැනීමට නොහැකි වූ විට ඊට ආදේශකයක් ලෙස ප්‍රබල වේදනා නාශක භාවිත කිරීමට තරුණ තරුණියන් පෙලඹී සිටින බවත්, සිසේරියන් සැත්කමකට භාජනය වූ මවකට ලබාදෙන වේදනා නාශකයට වඩා පස් ගුණයකින් වැඩි වේදනා නාශක මාත්‍රා දෛනිකව ලබාගන්නා පාසල් සිසුන් වාර්තා වන බවත් වෛද්‍යවරයා පැවසීය.

දත්තවලට අනුව හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ලක්‍ෂයක පමණ පිරිසක් මෙරට සිටින බවත්, ඔවුන් අතරින් 6,000ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට පෙලඹී සිටීමෙන් ඔවුන් ඒඩ්ස් හෙපටයිටිස් වැනි රෝගවලට භාජනය වීමේ අවදානමක් සහ එම රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්ද මතුව තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරයි.

තම දරුවන්ට අපස්මාරය වැනි රෝග ලක්‍ෂණ මතු වූ විට බොහෝ දෙමවුපියන් තම දරුවන්ට එවැනි රෝග වැළඳී ඇති බවට සැක කර රෝහලට රැගෙන ආවත් ඔවුන්ට එවැනි රෝග ලක්‍ෂණ මතු වී ඇත්තේ, මත් වීමේ අරමුණෙන් වේදනා නාශක පෙති අඛණ්ඩව ලබාගැනීම හේතුවෙන් බවද ඒ මහතා පැවසීය.

ඇතැම් රෝහල් සේවකයන්ද වේදනා නාශක හා සිහි නැති කිරීමට භාවිත කරන ඖෂධ ලබාගැනීමට පුරුදු වී සිටින බවත්,

මෙය රෝහල් පරිපාලනයට විශාල ගැටලුවක් වන තරමට ඔඩුදුවා තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

මත් උවදුරෙන් රට බේරා ගනිමු' යන මැයෙන් මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිති ශාලාවේදී ඊයේ (03දා) පැවති වැඩසටහනකදී විශේෂඥ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා මෙම කරුණු අනාවරණය කළේය.

ශ්‍රී පුෂ්පදාන සමිති අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා මහනුවර ගම්පොළ සහ මාතලේ යන පොලිස් කොට්ඨාසවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් 300දෙනෙකු පමණ සම්බන්ධ කර තිබිණි.

  -  ෂේන් සෙනෙවිරත්න