අභියාචනාධිකරණයෙන් නිදහස් කළ විත්තිකරුවකු, නීතිවිරෝධී ලෙස දින 03ක් බන්ධනාගාරයේ රඳවා ගැනීමෙන්, ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇද්දැයි පක්ෂා කිරීම සඳහා, අධිකරණ ඇමතිවරයා සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට විභාගයක් පැවැත්වීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට ඊයේ (17දා) නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය. අභියාචනාධිකරණ නියෝගයක් මත 2022 වසරේ නිදහස් කෙරුණු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු අධිකරණ ඇමති අලි ෂබ්රී, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එන්. උපුල්දෙනිය, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා,
අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාර්වරයා සහ නීතිපතිවරයා නම්කොට ඇත.
නීතිඥ හරීෂ්ක සමරනායක මහතා මාර්ගයෙන් ඉදිරිපත් කළ මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ, මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම මහාධිකරණය තමන් වරදකරු කර 2018 අප්‍රේල් 26වැනිදා මරණීය දණ්ඩනය නියම කළ බවත්, තමන් ඉදිරිපත් කළ අභියාචනය පිළිගැනීමෙන් පසු, 2022 පෙබරවාරි 24වැනිදා තමන් මුදාහළ නමුත්, අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා තමන් මුදාහැරීම ප්‍රතික්ෂේප කළ බැවින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු පෙත්සම මැයි 27වැනිදා විභාග කිරීමට තීරණය කළ විනිසුරු මඬුල්ල, පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ගොනු කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.
-බුද්ධිමාල් රුබේරු
0 Comments