thailand-job-fraud-chinese-man-remanded

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන මෙරට තරුණයන් 67දෙනෙකුගෙන් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගෙන ඔවුන් සංචාරක වීසා මගින් මියන්මාරයට හා ලාඕසයට රැගෙන ගොස් එහි ගොඩනැගිල්ලිවල සිර කරගෙන මිනිස් වෙළෙඳාමේ නිරත වූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (10දා) දින ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ, චීන ජාතික හුවාන් ෆුක්ලි (අවු.59) නමැත්තෙකි.

සැකකාර චීන ජාතිකයා බත්තරමුල්ල ප්‍රදේශයේදී තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.



සැකකරු සම්බන්ධයෙන් ගුවන් තහනමක් ලබාගෙන සිටියදී ඔහු පෙරේදා (10දා) ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස් සිටියදී ලද තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම චීන ජාතිකයා 2021 වසරේ මෙටට පැමිණි ඇති අතර, තවත් ශ්‍රී ලංකිකයන් තිදෙනෙකු සමග එක්ව සැකකරු මෙම වංචාව සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෙම සැකකරුව තායිලන්තයේ පරිගණක දත්ත ඇතුළත් කරන්නන් සහ පාරිභෝගික සේවා ආයතනහි රැකියා ලබාදෙන බවට පවසා තරුණයන් රැසකගෙන් රුපියල් ලක්‍ෂ 2 1/2 – ලක්‍ෂ 5 අතර වශයෙන් මුදල් ලබාගෙන ඔවුන් සංචාරක වීසා මගින් බැංකොක් වෙත රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

නීත්‍යනුකූලව බැංකොක් වෙත රැගෙන ගොස් පසුව බෝට්ටු මගින් මියන්මාරයට හා ලාඕසයට රැගෙන ගොස් මෙම මිනිස් වෙළෙඳාම සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

සැකකරුවන් මෙම ශ්‍රී ලංකික පිරිස එහි ගොඩනැගිලිවල සිරකරගෙන පොරොන්දු වූ රැකියා ලබාදී නොමැති අතර, සැකකරුවන් තරුණයන්ට විවිධ කාන්තාවන්ගේ නම්වලින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් සකස්කරදී ඒ හරහා විවිධ පුද්ගලයන් සමග මිතුරු වී ඔවුන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට නියෝග කර ඇත.

එක තරුණයෙකු දිනකට පුද්ගලයන් තිදෙනෙකුගේ බැංකු ගිණුම් දත්ත ලබාගෙන චීන තැරැව්කරුවන් අතට එම තොරතුරු ලබාදිය යුතු බවත්,

එසේ නොකරන්නේ නම්, ඔවුන්ගේ තැරැව්කරුවන් පහරදෙන බවටත් තොරතුරු වාර්තා වී තිබේ.

ශ්‍රී ලාංකික තරුණයන් මාර්ගයෙන් ලබාගන්නා බැංකු දත්ත අනුව තැරැව්කරුවන් එම ගිණුම්වලින් වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බවද පොලීසිය පවසයි.

මෙම ශ්‍රී ලාංකික තරුණයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් සහ තානාපති කාර්යාල හරහා කළ පැමිණිලි මත තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිලි අනුව එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන ආරම්භ කර, මෙම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර, පොලීසිය මගහරිමින් සැගව සිටි ප්‍රධාන සැකකරු වන චීන ජාතිකයා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුවන් විසින් අතරමං කර සිටි තරුණයන් රැසක් රය මැදිහත් වී මෙරටට ගෙන්වාගෙන ඇති අතර, තවත් පිරිසක් ඔවුන්ගේ ඥාතීන් විසින් ගෙන්වාගෙන ඇති බවත්, තවත් සිව්දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව ඇති බවත් පොලීසිය පවසයි.

තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ අධීක්‍ෂණයට යටතේ,

සහකාර පොලිස් අධිකාරි එච්. ජනකාන්ත මහතාගේ මෙහෙයවීමෙන්, එහි අංක 2හි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්. යෝගේෂ්වරම්, කාන්තා උපපොලිස් පරීක්‍ෂිකා පී.ජී.බී. කොෂල්‍යා යන මහත්ම මහත්මීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වති.

- ඉන්දිකා රාමනායක