අවිස්සාවේල්ල තල්දූව ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන පුද්ගලයකු අවිස්සාවේල්ල මානියංගම ඇත්පන්තිය පාරේදී පොලිසිය සමඟ ඊයේ (15) අලුයම පොරබදා පලා යෑමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියකදී පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා මියගොස් ඇති බව පොලිසිය කියයි.
පැය 72 ක රැඳවුම් මත රඳවාගෙන ප්රශ්න කරමින් සිටි සැකකරු හෙළි කළ තොරතුරු අනුව ඔහු සඟවා තැබූ පිස්තෝලයක් සොයා පොලිස් කණ්ඩායමක් ඊයේ අලුයම 2.15ට පමණ සැකකරු එම ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ, සැකකරු ඔහුට දමා තිබූ අත්විලංගුවෙන් පොලිස් ජිප් රථයේ ඔහු බාරව සිටි කොස්තාපල්වරයාගේ ගෙල සිර කර පොරබදා පලායෑමට උත්සාහ කිරීමේදී පොලිසිය වෙඩි තබා ඇති අතර තුවාල ලැබූ සැකකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, අවිස්සාවේල්ල ගලබලන කන්ද ප්රදේශයේ පදිංචි කේ. ඒ. මහේෂ් ධනංජය (22) නමැත්තකු බවත් ඔහු අවිස්සාවේල්ල ප්රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන විදේශ රටක සැඟවී සිටින මන්නා රමේෂ් නමැත්තාගේ ප්රධාන ගෝලයකු බවත් පොලිසිය කියයි. සැකකරු සමඟ පොර බැදීම හේතුවෙන් ජීප් රථයේ ගමන් ගත් පොලිස් කොස්තාපල් (99975) රත්නායක මහතා ද තුවාල ලබා ඇති අතර, ඔහු අවිස්සාවේල්ල රෝහලේ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.
අවිස්සාවේල්ල ඉහළ තල්දූව ප්රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටී 56 ගිනි අවියකින් ත්රිරෝද රථයක ගමන් ගත් පිරිසක් ඉලක්ක කර පසුගිය 20 වැනිදා එල්ල කළ වෙඩි ප්රහාරයකින් දෙදෙනෙකු මියගිය අතර තවත් සිවු දෙනෙක් තුවාල ලැබූහ.
එහි වෙඩික්කරු පැමිණි යතුරුපැදිය එදින පදවා ඇත්තේ පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයා බව පොලිසිය පවසයි. සැකකරු යාපනය සිට හම්බන්තොට බලා ධාවනය වූ බස් රථයකින් ඉකුත් 12 වැනිදා හම්බන්තොට බලා ගමන් කරමින් සිටියදී විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එස්. එච්. පීරිස් මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන එම්.එච්.ඒ. මධුරංග, ආර්.පී.ඩී.සී.ආර්. රාජපක්ෂ මහතා ප්රමුඛ කණ්ඩායමක් හෙරොයින් ග්රෑම් 7කට ආසන්න ප්රමාණයක් සමඟ ඔහු අත්අඩංගුවට ගත්තේය.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට ඔහු අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියට බාර දෙනු ලැබ සිටියේය.
සැකකරු තදින්ම මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින්නකු බවත්, හෙරොයින් සන්තකයේ තබා ගැනීම, ජීව අත්බෝම්බ සන්තකයේ තබා ගැනීම, තියුණු ආයුධවලින් පුද්ගලයන් කපා කොටා බරපතළ තුවාල කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහාධිකරණයේ නඩු පවතින බවද පොලිසිය පවසයි. අවිස්සාවේල්ල ප්රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් සැකකරුවෙක් මෙලෙස වෙඩි ප්රහාරයෙන් මිය ගියේය.
ඉන්දිකා රාමනායක
0 Comments