tharushi-family-story

අම්මේ මට තරගයෙන් දිනන්න පුළුවන් වෙයිද?.. දුරකතනයෙන් මගේ දුව තරගය පටන් ගන්න කලින් ඇහුවා. දුව... දුවට දිනන්න පුළුවන් ඔයා බය නැතිව දුවන්න යැයි කියා මා ඇය දිරිමත් කළා යැයි ලක්මව රනින් සැරසූ තරුෂි කරුණාරත්නගේ මව අප හා පැවැසුවාය.
චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියා ක්‍රීඩා උළලේ මීටර් 800 (කාන්තා) ඉසව්වේ ළාබාලම ක්‍රිඩිකාව ලෙස තරගකාරියන් හත් දෙනකු පරාජය කරමින් විනාඩි 2 තත්පර 03.20ක දී විශිෂ්ට ධාවනයක යෙදෙමින් ජය ලැබුවාය.

මවත්, පියාත් රූපවාහිනී තීරයේ සජීවී විකාශය දෙස බලා සිටියහ. තරගයට එක් වූ තරුෂි අනෙක් ක්‍රීඩිකාවන් සමග කරට කර සටනක් දෙමින් සිටියාය. මව නිවසේ සිට ඉතිපිසෝ ගාථාව කියමින් තරගයට එක් වූ තම ආදරණීය දියණියට ආශිර්වාද කළාය. පළමු වට කීපයේදී ආරෝහ පරිනාහ දේහයන්ගෙන් යුතු සෙසු තරගකාරියෝ තරුෂි දියණියට ලොකු පීඩනයක් දුන්හ. අවසන් වටය ඉතා තීරණාත්මක විය. තරගය නිමා වන්නට ඔන්න මෙන් කියා තිබියදී කිසිවකු නොසිතූ ලෙස සෙසු ක්‍රීඩිකාවන් පරයා කෙසඟ සිරුරකින් සිටි පුංචි තරුෂි තරගයෙන් ජය ගත්තාය.



ජයග්‍රහණය දෙස බලා සිටි මවත් පියාත් බොහෝ සතුටු වූහ. ඔවුහු සතුටු කඳුළු වැගිරූහ. රතිඤ්ඤා පත්තු කරන්නටවත් කෑ කෝ ගසමින් ඔල්වරසන් දෙන්නටවත් උත්සාහ කළේ නැත. තරුෂි දියණියගේ ජයග්‍රහණය නිහතමානීව සැමරූහ. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ තරුෂිට වැඩිමහල් සහෝදරයෙක් හා බාල නැගණියක්ද සිටිති.තරුෂි කරුණාරත්න මේ වන විට වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ වාණිජ්‍ය අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ද සූදානමින් සිටින්නීය.

සිය දියණියගේ ජයග්‍රහණය ගැන තරුෂිගේ මව වූ නිලුෂිකා දිල්රුක්ෂි අබේවර්ධන මහත්මිය අප හා මෙසේ පැවැසුවාය.

මට පුතෙක් සහ දූවලා දෙන්නෙක් ඉන්නවා. පුතා දැනට යුද හමුදාවේ ක්‍රීඩා කටයුතුවල නියැලී සිටිනවා. පුතාත් ක්‍රීඩා රැසකින්ම ජය ගෙන තිබෙනවා. මගේ තරුෂි තමයි මේ සැරේ රන්පදක්කම දිනා ගත්තේ. දුව ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ දඹගහිටිය චූලාභය මහා විද්‍යාලයේ. එම පාසලේ හිටිය පුෂ්පා කුමුදුනී මහත්මිය කීවා දුව ක්‍රීඩාවලට හරිම දක්ෂයි. මේ ඉස්කෝලේ පහසුකම් මදි. මෙහෙ තියාගෙන දුව ඉදිරියට ගන්න අමාරුයි. ක්‍රීඩාව තියෙන පාසලකට දුව ඇතුළත් කරන්නට කැමතිද කියලා ඇහුවා. අපි කීවා ලොකු ඉස්කෝලවලට දාල දුවට වියදම් කරන්න අමාරුයි. පුෂ්පා නෝනා කීවා වියදම් ගැන කරදර වෙන්න එපා. ඒවා අපි බලාගන්නම් කියල. පසුව දුව වලල ඒ රත්නායක විද්‍යාලයේ හතේ පන්තියට ඇතුළත් කළා.



වලල ඉස්කෝලේ සුසන්ත මහත්තයා කීවා තරුෂිට හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. පසුව තරුෂිට ඉතා හොඳ පුහුණුවක් ලබා දුන්නා. ඒ මහත්තයා තමයි තරුෂි දුවගේ මේ ජයග්‍රහණය පසුපස ඉන්නේ. සුසන්ත සර්ට අපි සදා ණය ගැතියි. දුව ක්‍රීඩාවලින් ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. බොහෝ පිරිස් අපට විවිධ අයුරින් උදව් කළා. ඒ හැමෝටම අප ස්තූති වන්ත වෙනවා යැයි මව කීවාය.

තරුෂිගේ පියා වන ඩී.එම්. කරුණාරත්න මහතා මෙසේ කීය.

මට ත්‍රිවීල් එකක් තියනවා. ඒ ත්‍රිරෝදයෙන් කුලී ගමන් ගිහින් තමයි දරුවන් වෙනුවෙන් මුදල් හොයා  ගන්නේ. කොරෝනා කාලේ අප ලොකු ගැටලුවකට මුහුණ දුන්නා. මොකද දඹගහපිටියේ ඉඳලා වලලට එන්න ලේසි පහසු නෑ. ඒ නිසා අපි දිගනට කිට්ටු මල්පානෙන් ගෙයක් කුලියට ගත්තා. ගේ අපට කුලියට දුන්නේ අම්පාරේ හිඟුරානේ සිල්වා මහත්තයා. අපේ දුව ක්‍රීඩාවලින් රටට කීර්තියක් ගෙනල්ලා දෙනවා කියලා ඒ මහත්තයා ගෙවල් කුලී ඉල්ලලා කරදර කළේ නෑ. මගේ අනෙක් දුවත් ඉගෙන ගන්නේ වලල විදුහලේ. එයත් ක්‍රීඩාවලට හරිම දක්ෂයි. එයත් මේ වන විට ක්‍රීඩා තරග රැසකින් ජය ලබාගෙන තියෙනවා. ඇත්තටම වෙලාවකට මට පුදුම හිතෙනවා මගේ තරුෂි දුවට ක්‍රීඩාවේදී තිබුණු බාධක මැද්දේ මේ ලබපු ජයග්‍රහණය ගැන. සමහර දවස්වලට දුව ගෙදර ආවේ අඬාගෙන. අපි ආර්ථික වශයෙන් ලොකු මිනිස්සු නෙවෙයි. දරුවන්ගේ හෙට දවස ගොඩනගන්න අපේ සියලු දේවල් බැංකුවල උගසට තියලයි තියෙන්නේ.



අපි දෙන්නට කිසිම වරප්‍රසාදයක් අවශ්‍ය නැහැ. මගේ දියණියගේ දක්ෂතා තව තවත් ඔනං වලා තව තවත් රටට කීර්තියක් ගේන්න අඩිතාලමක් යොදනවා නම් එය දුවට පමණක් නෙවෙයි ඒක රටටද කරන සේවයක් විඳිහටයි මමටී වී එකේ දකින කොට ඒක හීනයක්ද කියලා මට හිතුණ වාර අනන්තයි.මොන බාධක මැද්දේ හෝ මගේ දියණිය රටට ගෙනා ජයග්‍රහණය ගැන මට හරි ආඩම්බරයි.

තරුෂිගේ එකම සෙහොයුරා වන හර්ෂ කරුණාරත්න මහතා මෙසේ කීය.

ඇත්තටම මගේ නංගි ගැන මට හරිම ආඩම්බරයි. මේ ජයග්‍රහණය රටම ලැබූ ලොකු ජයක්. යුද හමුදා ක්‍රීඩා කටයුතුවල නියැලී සිටින මගේ එකම අරමුණත් රට වෙනුවෙන් ක්‍රීඩාවෙන් ජය ලබන්නයි.

වලල ඒ රත්නායක විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේරත් මහතා තරුෂි ගැන මෙසේ පැවැසීය.

තරුෂිගේ ජයග්‍රහණය රටට මෙන්ම අපේ පාසලටත් ලොකු ජයක්, හා ගෞරවයක්. ඉදිරියේදීත් මෙවැනි දක්ෂ දරුවන් බිහිකිරීම තමා අපේ එකම අරමුණ. අපේ පාසල තමයි මධ්‍යම පළාත් සභාවේ තියෙන එකම ක්‍රීඩා පාසල. අපි දක්ෂ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමනවා. තරුෂි දුවටත් එවැනි ශිෂ්‍යත්වයක් හිමි වුණා යැයි ඔහු කීය. පළාතක් ලෙස පළාතෙන් බිහි වූ තරුෂි ක්‍රිඩිකාවගේ ඉදිරි ක්‍රීඩා දිවිය තව තවත් දිරිමත් කිරීමටත් එවන් දරුවන් තව තවත් බිහි කිරීමටත් අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමටත් ඇප කැපවී ක්‍රියා කරන බව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන මහතා අප සමඟ පැවසුවේය.


 ටී.කේ.ජී. කපිල