thenuka-house-power-issue

නාගරික සංවර්ධන, නිවාස රාජ්‍ය අමාත්‍ය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තේනුක විදානගමගේ අමාත්‍යවරයාගේ මිණිපේ වේරගංතොට පාලම හන්දිය ප්‍රදේශයේ පිහිටි උපන් නිවසේ(මහ ගෙදර) පොල් කැඩීම සඳහා පැමිණ සිටි පුද්ගලයකුට හා එම නිවසේ සේවකයකුට විදුලිසැර වැදී පෙරේදා (15දා) සවස ප්‍රතිකාර සඳහා මහියංගණ මුලික රෝහලට ඇතුළත් කර ඇත.



මෙසේ විදුලිසැර වැදී ඇත්තේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ සේවය කරන, පදියතලාව පාර, 51 කණුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා හසලක, 08 ඇළ, උල්පතගම ප්‍රදේශයේ පදිංචිව සිටින පොල් කැඩීම සඳහා පැමිණි පුද්ගලයෙකුටය.

අමාත්‍යවරයාගේ නිවසේදී විදුලි සැර වැදීම සම්බන්ධයෙන් විදුලිසැර වැදුණු පුද්ගලයෙකුගේ ඥාතියෙකු විසින් හසලක පොලීසිය වෙත ඊයේ (16දා) උදෑසන පැමිණිල්ලක්ද ගොනු කර තිබේ.

පැමිණිලි ගොනු කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයාගේ නිවස පරීක්ෂා කිරීම සඳහා හසලක පොලීසියේ පොලිස් නිලධාරීන් හා හසලක විදුලි බල මණ්ඩලයට අයත් කාර්මික නිලධාරීන් පැමිණ තිබේ. මහියංගණ රෝහලේ 04 වාට්ටුවේ මේ වන විට එම එක් පුද්ගලයෙකු ප්‍රතිකාර ලබන අතර එම පුද්ගලයාගේ ඇගිලි පුපුරා ඇත.  සිදුවීම සම්බන්ධයෙන් කිසිදු මතකයක් නොමැති බවටද ඔහු ප්‍රකාශ කර තිබේ. මහියංගණ රෝහලේ ප්‍රතිකාර ලැබූ අමාත්‍යවරයාගේ නිවසේ සේවකයා ප්‍රතිකාර ලබා නිවස කරා ගොස් තිබේ. නිවසේ සිට පිටතට ඇද තිබු(අනාරක්ෂිතව) විදුලි රැහැනක් පොල් ගස් අතර බැඳ තිබූ රෙදි වැලක ගැටී තිබූ බවත්, පොල් කැඩීම සඳහා ගසට නැගි පුද්ගලයා එම රෙදිවැලේ කම්බිය ඇල්ලීමෙන් මෙම විදුලි සැර වැදුණු බවත් පැවසේ.

සිද්ධිය පිළිබඳ හසලක පොලීසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.

මහියංගණ - රංජිත් කරුණාවීර