thondaman-speaks

මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

නමුත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ එක්ව සිදු කරනු ලබන සහයෝගී ප්‍රයත්නයක් ලෙස,

ප්‍රතිපත්ති මත පදනම් වූ ජල ගාස්තු සකස් කිරීමක් සඳහා වන පිරිවැය ප්‍රතිසාධන සූත්‍රයක් හඳුන්වාදීම කිරීම කෙරෙහි මේ වනවිට අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ 2023 අගෝස්තු මාසයේ බවත්, මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මගකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.



එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

"කඳුකර ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් නොවැම්බර් 2 වැනිදා “නාම් 200” (අපි 200) නමින් සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබෙනවා. මෙම අවස්ථාවට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වීමට නියමිතයි. ඉන්දියාවේ සිටද ආරධිතයන් පිරිසක් මේ සඳහා පැමිණීමට නියමිතයි.

මෙහිදී කඳුකර ජනතාව ජාතියට සිදු කළ මෙහෙවර ඇගයීමට ලක් කෙරෙනවා. ඒ වගේම කඳුකර ප්‍රජාවට ප්‍රතිලාභ සැලසීම අරමුණු කරගනිමින් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය වැඩසටහන් රාශියක සක්‍රීයව නියැළී සිටිනවා.

ඒ වගේම මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට මම සහතික වනවා. ඒ අනුව 2023 අගෝස්තු මාසයේ සිදු වූ ජල ගාස්තු සංශෝධනයෙන් පසුව මෙම වසර සඳහා තවදුරටත් ජලගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒ වගේම ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා ද තරයේ ප්‍රතික්ෂේප කරනවා.” යනුවෙන් ද පැවසුවේය.