uddika-shoot

ප්‍රවීණ රංගන ශිල්පී අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වන අවස්ථාවේ ඒ අසල මාර්ගයක මෝටර් රථයක් ගමන් ගන්නා අයුරු සටහන්ව ඇති බව කියන සීසිටීවී දර්ශන සහිත කැමරාව, රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඊට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව යසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

 අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙසේ නියෝග කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට තවදුරටත් නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.



ප්‍රවීණ රංගන ශිල්පී අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් රහස් පොලීසිය කියා සිටියේ, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව විමර්ශන අරඹා ඇති බවයි.

මන්ත්‍රීවරයාගේ නිවස අසලදී ඉකුත් සැප්තැම්බර් මස 17වැනිදා රාත්‍රියේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ ඒ අසල මාර්ගයක මෝටර් රථයක් ගමන් ගන්නා අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව ඇති බවද අධිකරණයට ප්‍රකාශ කළ රහස් පොලීසිය, එම සීසීටීවී දර්ශන වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂවරයා වෙත යවා විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍ය බවද සැළ කළේය.

එල්ල කර ඇති වෙඩි ප්‍රහාර හේතුවෙන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුව නොමැති වුවද,

ඔහුගේ මෝටර් රථයට හානි සිදුව ඇති බව අධිකරණයට කියා සිටි රහස් පොලීසිය, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගෙන් සහ ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක අංශයට අනියුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් සහ තවත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද සඳහන් කළේය.

අපරාධයට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මෙතෙක් හඳුනාගෙන නොමැති බව අධිකරණයට සැළකළ රහස් පොලීසිය, සැකකරුවන් හඳුනා ගැනීම සදහා පොලිස් බුද්ධි අංශවල සහ පෞද්ගලික ඔත්තුකරුවන්ගේ සහය ලබාගෙන ඇති බවද කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොළීසිය මගින් සිදුකරමින් පැවති සියලු විමර්ශන එම පොලීසියෙන් ඉවත් කර, රහස් පොලීසියට පවරනු ලැබූවේ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නියෝගයකට අනුවය.

අනුරාධපුර උපාලි ආනන්ද