uk-visa-katunayake

කූට ලෙස සකස් කළ වීසා බලපත්‍රයක් භාවිත කර එක්සත් රාජධානිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙක් 20 වැනිදා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පරියන්තයේ දී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.මොහු යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

ඔහු 20 වැනිදා උදෑසන කටාර් ගුවන් සේවයේ කිව්. ආර්. 659 දරන ගුවන් යානයෙන් දෝහා වෙත ගොස්,

එතැන් සිට එක්සත් රාජධානිය වෙත යාමට සූදානමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය. ඉන්පසුව ඔහු සතු වීසා බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියැකියවිලි සිය නිශ්කාශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් වෙත බාර දුන් අතර වීසා බලපත්‍රය පිළිබඳව ඇති වූ සැකය මත මොහු ඉදිරිපත් කළ ලියකියවිලි සියල්ල ගුවන් තොටුපොළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කෙරිණි.

එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වල දී මෙම වීසා බලපත්‍රය කූට ලෙස සකස් කළ එකක් බවට තහවුරු වී තරුණයා අත් අඩංගුවට ගනු ලැබීය.ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන වයි.එස්.ඩී. යාපා සහ ඩී.එස්. මුදලිගේ යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී ජේ.ඒ.ඩී.එස්. රණසිංහ මහතා පරික්ෂණ කටයුතු සිදු කළේය.

මෙසේ අත් අඩංගුවට ගත් තරුණයා ආගමන විගමන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාරදෙනු ලැබ සිටී.
 ටී.කේ.ජී. කපිල