vehicle-kegalle-alto-theft

කෑගල්ල අරණායක හකුරුගම්මන ප්‍රදේශයේ නිවෙසක තිබුණු කාර් රථයක් සොරකම් කරගෙන ගොස් මාවනැල්ල ප්‍රදේශයේ ගරාජයක් අසල දමා ගිය පුද්ගලයකු පෙරේදා 26 රාත්‍රියේ නිවෙසේ-දීම අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පැවසීය.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අරණායක වෑවල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි තිදරු පියෙකි.

පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගෙන ඇති සැකකරු රියැදුරකු බවත්, ඔහු වෙනත් පුද්ග ලයන්ගේ වාහනවල රියැදුරු රැකියාව සිදු කර ජීවත් වෙමින් සිටින බවත්ය. වසර ගණනාවක සිට රියැදුරු රැකියාව සිදු කළද ඔහුට කියා වාහනයක් නොමැතිව සැකකරු කනස්සල්ලෙන් සිට ඇත.

වාහනයක් මිලට ගැනීමට දැඩි ආශාවක් තිබුණ ද අතමිට මුදලක් නොමැති තැන මිට මාස කිහිපයකට ඉහතදී පදිංචිව සිටින නිවෙස ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ දෙකක මුදලකට උකස් කර තිබේ.

ඔහු රුපියල් ලක්ෂ දෙකක මුදල රැගෙන මූලික ගෙවීමක් ලෙස දී වාරික වශයෙන් ගෙවීමට කාර් රථයක් දින ගණනාවක් සිට සොයා තිබේ. අවසානයේ කාර් රථයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ලක්ෂ දෙකක මුදල සැකකරුට වියදම් වී හිස් අතින් ආපසු නිවෙසට ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව සැකකරු ඉකුත් 22 වැනිදා රාත්‍රී අල්ලපු හකුරුගම්මන ගම්මානයේ වසා දමා තිබුණු නිවෙසකට ගොස් ගරාජයක තිබුණු ගම්පොළ පොලිසියේ සේවය කරන නිලධාරියකුට අයත් ඇල්ටෝ වර්ගයේ කාර් රථයේ පිටුපස වීදුරුවේ බීඩින් පටිය කපා ඉවත් කර ඇතුළතට රිංගා යකුරු කටට ගලකින් පහර දී පොඩි කර ගලවා දමා කාර් රථය සොරකම් කර ඇත.


 පසුව එය පණ ගන්වා මාවනැල්ලට රැගෙන ගොස් හිතවතෙකුට පෙන්වා කාර් රථය මාරු කර දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. එම හිතවතා ලියකියවිලි කිසිවක් නොමැතිව වාහනය මාරු කිරීමට නොහැකි යැයි පැවසීමෙන් පසුව සැකකරු මාවනැල්ල නගරයේ තවත් කිහිප දෙනකුට කාර් රථය දීමට උත්සාහ දරා ඇත. පොලිසිය තවදුරටත් කියා සිටියේ, කාර් රථය කිසිවකුට මාරු කිරීමට නොහැකි වී පසුදා එළිය වැටීගෙන ඒමත් සමඟ පාන්දර 5.30ට පමණ මාවනැල්ල අචාරම ප්‍රදේශයේ ගරාජයක් ආසන්නයේ කාර් රථය දමා ගොස් ඇති බවයි.

මාවනැල්ල පොලිසිය විසින් කරන ලද විමර්ශන කටයුතුවලින් අනතුරුව සැකකරු හඳුනාගෙන පෙරේදා (26) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබිණ. සැකකරු ඊයේ (27) මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කෑගල්ල චමින්ද ජයලත්