vipuli-niroshini-hettiarachchi-passed-away

කිවිඳියක, ළමා හා යොවුන් සාහිත්‍ය නිර්මාණවේදිනියක ලෙස ප්‍රකටව සිටි විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි හදිසියේ ජීවිතයෙන් සමුගෙන ඇතැයි අද (14) වාර්තා විය. මිය යනවිට 54 වියේ පසුවූ ඇය කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත., කොළඹ සරසවියේ හා ජයවර්ධනපුර සරසවියේ උපාධි හා පශ්චාත් උපාධි නිමකර සිටියාය.
කවි පොත් ගණනාවක් රචනා කර ඇති විපුලි නිරෝෂිණී අන්තර්ජාල මාධ්‍ය තුළද බොහෝ අයගේ සිත්ගත් කිවිඳියක ලෙස පෙනී සිටියාය. සාහිත්‍ය විචාර සම්බන්ධයෙන්ද ප්‍රකටව සිටි ඇය සංවාද මණ්ඩපවලද කැපී පෙනෙන දේශන පවත්වන්නියක ලෙස ප්‍රකටය.
ඇගේ සමුගැනීමත් සමග ඇයට හා ඇගේ නිර්මාණවලට ආදරය කරන බොහෝ දෙනා අන්තර්ජාලය තුළ අදහස් පළ කර තිබෙයි.
මෑත කාලයේ ඇයගේ නිවසේ සිදුවූ අනපේක්ෂිත සොරු පැනීමක් හා එම අවස්ථාවේ අගතියට පත් ඇය වෙනුවෙන් පොලිසිය යුක්තිය ඉටු නොකිරීම මත ඇයට සිදුවූ බරපතල සිත් වේදනාවක් ගැනද අදහස් හුවමාරුවී තිබේ.
ඇය හදිසියේ ජීවිතයෙන් සමුගන්නේ මෙම සංසිද්ධිය සිදුවී දින කිහිපයකිනි.


සිංහල සාහිත්‍ය කටයුතු වෙනුවෙන් ඇය දැක්වූ දායකත්වය බොහෝ දෙනෙකු ඇගයීමට ලක් කර තිබේ. කලකට පෙර සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ අදහස් දක්වා තිබේ.

"මම පෞද්ගලිකව දන්නවා ක්ෂේත්‍රෙයහි රැඳෙන්න හරි අමාරුයි. කිවිඳියකට ලැබෙන තැන, ඇගයුම, උත්තේජනය හරි අඩුයි. ‘කිවිඳියන් ඉන්නවද? කිවිඳියන් ලියනවද?’ වගේ ප්‍රශ්න මේ අධිකාරය තුළ මතුවෙනවා. කවියන් මතුවෙන තරමට කිවිඳියන් මතුවෙන්නෙ නැහැ. ඒකට සංකීර්ණ හේතු රාශියක් මට නම් කියන්න පුළුවන්. කිවිඳියකට පවතින්න අමාරුයි. පවතින්න උවමනා කරන වටපිටාව සකසල දෙන්නෙත් නැහැ. කොහොම හරි කඩා බිඳගෙන හොඳ කවි පෞරුෂයක් ඇතිව ආව වුණත් ඒ කවිය පවත්වගන්න වෙනත් නඩත්තුවක් අවශ්‍ය වෙනවා.  තමන්ටම කැපකිරීම් කරන්න වෙනවා. නැත්නම් පවතින්න අමාරුයි.
 මගෙ කවි ආත්මය සිඳෙන්නෙ නැහැ. මං කවිය වෙනුවෙන් හැම විටම පෙනී ඉන්නවා.


කවියට අමතරව මම ළමා පොත් ලියනවා. ළමා පොත් ලියන්නෙ මම ළමයින් ගැන ගොඩක් සංවේදී නිසා. හුඟක් අය දොස් කිව්වා ළමා පොත් ලියනවා, මගේ කවිය නැතිවෙනවා කියල.  ඒ ළමා පොත් ලියල ලැබෙන කර්තෘ භාගයත් මම යොදවන්නෙ කවිය නඩත්තු කරන්න. අවංකවම කියනවනම් කවිය ඇරෙන්න කවිය නිසා බොහෝ දේ නැති කරගත්ත කෙනෙක් මම. පෙනි පෙනීම මට බොහෝ දේවල් කවිය නිසා මගහැරුණා. අතිසංවේදී වීම නිසා ජීවිතේ වැරදුණු තැන් තියෙනවා. හැබැයි අවසානයේ මට ඉතිරි වුණෙත් කවිය විතරයි."