වාලච්චේන මාන්තෝලේ ප්‍රදේශයේ නිවෙසක සිරුරට ගිනි තබාගෙන සිටි බව කියන පුද්ගලයකු මුදාගැනීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනකු ද පිළිස්සුම් තුවාල ලබා ඇති බව වාලච්චේන පොලිසිය පවසයි. එම ගිනි තබාගත් බව කියන පුද්ගලයා පොලිස් නිලධාරීන් දෙදෙනා වෙත කඩා පැන ඔවුන් බදා ගැනීම හේතුවෙන් මෙසේ පිළිස්සී ඇතැයි පොලිසිය සඳහන් කරයි. වාලච්චේන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු මෙසේ පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා සහ පිළිස්සුම් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වාලච්චේන හා මඩකලපුව රෝහල්වලට ඇතුළත් කර ඇත.
මැදපෙරදිග රටක රැකියාවක නිරතව සිටින බිරියට මුදල් එවන ලෙස ඉල්ලා බල කිරීම නිසා දෙදෙනා අතර හට ගත්තේ යැයි කියන ආරවුලක් දුරදිග යෑමෙන් පසු මෙම 38 හැවිරිදි පුද්ගලයා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඇති බවට පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. සිරුරට ගිනි තබන් ගත්තේ යැයි කියන මෙම පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අයකු බව ද පොලිසිය සඳහන් කරයි. මෙම පුද්ගලයා සිරුරට ගිනි තබාගෙන ඇති ලද තොරතුරක් අනුව වාලචේන පොලිසියේ උපපොලිස් පරීක්ෂක ඊ.එල්. බදූර්දීන් සහ පොලිස් කොස්තාපල් ධනපාල (68569) යන මහත්වරුන් ඒ මොහොතේම එම නිවස සොයා ගොස් ඇත.
නිවසේ දොර ජනෙල් වසා දමා තිබී ඇති අතර නිවෙස තුළින් පුද්ගලයකු කෑගසන හඬ ඇසීම නිසා පොලිස් නිලධාරීන් දෙදෙනා දොරක් කඩා නිවෙසට ඇතුළු වූ අවස්ථාවේ ගිනි තබාගෙන සිටි පුද්ගලයා එක්වරම උපපොලිස් පරීක්ෂකවරයා වෙත කඩා පැන ඔහු බදා ගත් අවස්ථාවේ නිලධාරීන් දෙදෙනාම පිලිස්සුම් තුවාල ලබා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. වාලච්චේන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සිරුරට ගිනි තබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments