welikanda-police-death

වැලිකන්ද පොලිසියේ තනිකඩ භට නිවසක් තුළදී පොලිස් සැරයන්වරයකු අබිරහස් ලෙස මිය යාම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන්  රහස් පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ සේවය කරමින් සිටි මිය ගිය සැරයන්වරයා අප්‍රේල් මාසයේ 2 වෙනි දින වැලිකන්ද පොලිසියේ සේවය සඳහා පැමිණ තිබූ බව පොලිසිය සඳහන් කරයි.



ඉකුත් 30 වෙනි දින අලුයම පොලිසියේ ඔහු නැවතී සිටි තනිකඩ භට නිවාසයේ කාමරයේ ඇඳ අසල බිම ලේ විලක් මත වැටී සිටින අයුරු යාබද කාමරයෙන් නිලධාරියා දැක තිබූ බව පොලිසිය කියයි.

මියගිය සැරයන්වරයාගේ දකුණු අතේ බාහුව ප්‍රදේශයෙන් විශාල තුවාලයක් දක්නට ලැබී ඇති අතර ඒ ආසන්නයේ ජනේලයක වීදුරුව කොටසක්ද කැඩී තිබෙනු දක්නට ලැබූණු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී යු. එල්. එම්. එස්. පෙරේරා මහතා වෛද්‍ය වාර්තා වාර්තාවේ සටහන් කර ඇත්තේ දකුණු බාහුවට සිදුවූ ඇනුම් තුවාලයක් නිසා සිදු වූ රුධිර වහනයෙන් ඇතිවූ කම්පන තත්ත්වය මත සිදු වූ මරණයක් බව ය.


මෙලෙස මියගොස් තිබුණේ එරාවූර් 2 ඒ ප්‍රධාන වීදිය, අංක 25 පදිංචිව සිටි මග්ගුල් මොහොමඩ් හනීෆා (64663) නැමැති 52 හැවිරිදි පස්දරු පියෙකි.

 අබිරහස් ලෙස මියගිය සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් නිලධාරීන් 12කින් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් වැලිකන්ද පොලිසිය වෙත ගොස් විමර්ශන ආරම්භ කර තිබේ.