world-cup-sri-lanka-england

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන 05වැනි තරගය අද (26දා) පැවැත්වේ. ඒ වත්මන් එක්දින ලෝක ශූර එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.

තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග 04න් 03ක් පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දල්වා ගැනීමට නම් අනිවාර්යෙන්ම මෙම තරගය ජයගත යුතුය. නොඑසේ නම් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට අනෙක් සියලුම තරග ජයගෙන දළ වේගය මත ද යැපීමට සිදුවනු ඇත.

2019 වර්ෂයේ ලෝක කුසලානය ජයගෙන, ඉතා සමබර කණ්ඩායමක් සහිතව මෙවර ලෝක කුසලානයට පැමිණි එංගලන්ත කණ්ඩායමට, මෙවර තරගාවලියේදී නොසිතූ අර්බුදයකට මුහුණදීමට සිදුවිය. එහිදී ඔවුන් මේ දක්වා සහභාගි වූ තරග 04න් ජයගැනීමට හැකි වී ඇත්තේ එක් තරගයක් පමණි.



එම නිසා එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසීමට මෙම තරගය ජයගැනීමට කෙසේ හෝ උත්සාහ දරනු ඇත. පසුගියවර ලෝක ශූරයන් මෙවර ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවතට විසිවුවහොත් එය එංගලන්ත ක්‍රිකට් සංස්කෘතියට දැවැන්ත කළු පැල්ලමක් වනු ඇත. එම නිසා මෙම තරගයට එංගලන්තය පිවිසෙන්නේ තරමක පීඩනයකිනි. එය අපේ වාසියකට හරවාගත යුතුය.

කෙසේ වෙතත් අමතක කළ නොහැකි කාරණය වන්නේ එංගලන්ත කණ්ඩායම තරගාවලියට පිවිසෙන්නේ ප්‍රබල පිතිකරණ බළඇණියක් සමගින් බවයි. ඩේවිඩ් මලාන්, හැර් බෘක්, ලියම් ලිවින්ස්ටන්, ජොස් බට්ලර් වැනි ප්‍රහාරාත්මක පිතිකරුවන්ට ඕනෑම අවස්ථාවක තරගය වෙනස් කිරීමේ ඉනිමක් ක්‍රීඩා කළ හැක. එමෙන්ම බෙන් ස්ටොක්ස්, ජෝ රූට් වැනි ක්‍රීඩකයන් වැඩි කාලයක් කඩුල්ලේ රැඳී සිටිය හැකි බැවින් අප ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට එංගලන්තය ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරගත යුතුය. එම නිසා ඔවුන් බොහෝ විට වැඩි ලකුණු ලබාගැනීමේ අරමුණින් කාසියේ වාසිය දිනාගතහොත් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරනු ඇත. මෙම තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීම නිසා පින්නෙන් රාත්‍රී කාලයේදී තණනිල්ලේ වෙනස්කම්ද සිදුවිය හැකිය.

එම නිසා කාසියේ වාසිය ජයගතහොත් ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදිය යුතුය. එවිට පීඩනයකින් තොරව වැඩි ලකුණු සංඛ්‍යාවකට යා හැකිවුවහොත් එහි පීඩනය එංගලන්තයට හැරවිය හැක.

නොඑසේ නම් එංගලන්ත පිතිකරුවන් මුලින් පන්දුවට පහරදී වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කළහොත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට හඹායාමේ අමතර පීඩනයටද මුහුණදීමට සිදුවනු ඇත.



මෙවර තරගාවලියේදී එංගලන්ත පිතිකරුවන් දඟපන්දු යවන්නන් හමුවේ සාපේක්ෂව වැඩි පීඩනයකින් පන්දුවට පහරදීමක් දක්නට ලැබිණි. එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණට මෙම තරගයේදී වැඩි වගකීමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමු. නෙදර්ලන්තය සමග පැවති තරගයේදී දුනිත් වෙල්ලාලගේ වෙනුවට කණ්ඩායමට කැඳවූ දුෂාන් හේමන්තගෙන් වැඩියමක් කණ්ඩායමට නොලැබීම නිසා අද තරගයේදී නැවතත් දුනිත්ට අවස්ථාවක් ලැඛෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වසර 15කට වැඩි අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකු ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. තරගයට පෙර පැවති පුහුණු සැසි සඳහා ඔහු එක්වීමෙන් ඒ බව තහවුරු විය.

මෙහිදී මැතිස්ගේ වගකීම විය යුත්තේ මැදපෙළ ශක්තිමත් කරන අතරම ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමයි. තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ සාපේක්ෂව ශක්තිමත් වුවද, මැදපෙළ පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය තරමක අඩු ස්වභාවයක් ගත්හ.

ශ්‍රී ලංකා වේගපන්දු බළඇණිය ශක්තිමත් කිරීම සඳහා දකුණත් වේගපන්දු යවන දුෂ්මන්ත චමීරටද අද තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් හිමිවිය හැක.



නෙදර්ලන්තය සමග තරගයේදී හැරෙන්නට දකුණත් වේගපන්දු යවන්නන්ගෙන් තරගය දිනවීමට අවශ්‍ය කිසිදු මට්ටමේ පන්දුයැවීමක් තරගාවලිය පුරාම දක්නට නොලැබිණි. අත්දැකීම් සහිත පන්දු යවන්නෙකු ලෙස චමීර නිවැරදි කළ යුත්තේ මෙම ගැටලුවයි.

එක්දින ලෝක කුසලානයේ අවස්ථා 11කදී මීට පෙර දෙරට මුණගැසී ඇති අතර, ඉන් අවස්ථා 06ක ජය එංගලන්තයටත්, අවස්ථා 05ක ජය ශ්‍රී ලංකාවත් හිමිව ඇත.

කෙසේ නමුත් අවසන් වරට පැවැති ලෝක කුසලාන හතරේම ශ්‍රී ලංකාව සිය අපරාජිකත්වය හිමිකරගෙන සිටීම සුවිශේෂීය. ඔවුන් විසින් 2019දී ලකුණු 20කින්, 2015දී කඩුලු 09කින්, 2011දී කඩුලු 10කින් හා 2007දී ලකුණු 02ක් ලෙසින් එංගලන්තය පරාජය කර ඇත.

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර මේ දක්වා එක්දින තරග 78ක් පවත්වා ඇති අතර, ඉන් තරග 38ක ජය එංගලන්තය සතුවී ඇත. ශ්‍රී ලංකාවද තරග 36ක ජයග්‍රහණ හිමිකර ගෙන ඇති අතර, තරග 03ක් විසඳුමකින් තොරව අවසන් වද්දී එක් තරගයක් ලකුණු සමව අවසන් වී ඇත.

මේ අතර තරගය පිළිබඳ පෙරේදා (24දා) අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පැවසුවේ,ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය පරාජය කිරීමට හොඳ අවස්ථාවක් ඇති බවයි. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇති බවද ඔහු මෙහීදී පැවසීය.

මෙම ක්‍රීඩාංගණය විශාල ලකුණු ප්‍රමාණයකට යා හැකි ක්‍රීඩාංගණයක් බවත්, අසීරු පන්දු බළඇණියකට මුහුණදුන්නත් වැඩි ලකුණු ප්‍රමාණයකට යා හැකි බවත් ඔහු මෙහිදී පැවසීය.

 තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භ වේ.

-ඕෂිත වරකපිටිය