israel-hamas-war-hostages-freed-deal-ceasefire

දින හතරක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමටත්, පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු ඊශ්‍රායල සිරකඳවුරුවලින් නිදහස් කිරීමටත් ප්‍රතිඋපකාර වශයෙන් ගාසා තීරයේ රඳවා සිටින කාන්තාවන් සහ ළමුන් 50 දෙනෙකු  මුදා හැරීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් ගිවිසුමකට එකඟ වී ඇති බව දෙපාර්ශ්වයම බදාදා උදෑසන නිවේදනය කළහ.

මෙම ගනුදෙනුව එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් තහවුරු කරන ලද අතර ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේ නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් අතර ඇමරිකානුවන් තිදෙනෙකු සිටින බවත් ඔවුන්ගෙන් එක් අයෙක් අවුරුදු තුනක දැරියක් බවත්ය. පළමු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම බ්‍රහස්පතින්දා උදෑසන සිදු වෙතැයි අපේක්ෂා කරන බවත් නිදහස් කරන මුළු ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් නිලධාරියා පැවසීය.

ඊශ්‍රායල අගමැති කාර්යාලයේ ප්‍රකාශයක් පැවසුවේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වල “නිශ්චලතාව”,  නිදහස් කරන සෑම ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු සඳහාම අමතර දිනයක් සඳහා දීර්ඝ කරන බවයි. ගිවිසුමෙන් පැය 48ක් ඇතුළත පළමු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බව බෙන්ජමින් නෙතන්යාහු සිය කැබිනට් මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළද සටන් විරාමය ආරම්භ වන්නේ කවදාදැයි එහි සඳහන් නොවීය .



පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් ඊශ්‍රායල සිරකඳවුරුවලින් නිදහස් කෙරෙන “මානුෂීය සටන් විරාමය” සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බව හමාස් තහවුරු කළේය. ඊශ්‍රායලය පැවසුවේ මෙම දින හතරක විරාමය තුළ දකුණු ගාසා තීරය හරහා ඊශ්‍රායල ගුවන් ගමන් නැවැත්වීමත්, උතුරු ගාසා තීරයේ තම ගුවන් ගමන් දිනකට පැය හයකට සීමා කරන බවත්ය. එසේම  තාවකාලික සටන් විරාම කාලය තුළදී ගාසා තීරයේ කිසිවෙකු අත්අඩංගුවට නොගැනීමට ඊශ්‍රායලය එකඟ වී ඇත.

"ඊශ්‍රායල් රජය සියලු පැහැරගෙන ගිය අය ආපසු ගෙදර යැවීමට කැපවී සිටී" යනුවෙන් රජයේ ප්‍රකාශය පවසයි. . “අද රාත්‍රියේ, මෙම ඉලක්කය සපුරා ගැනීමේ පළමු අදියරය රජය විසින් අනුමත කරන ලද අතර, ඒ අනුව පැහැරගත් 50 දෙනෙකු ( කාන්තාවන් සහ ළමුන්)  දින හතරක් තුළ නිදහස් කරනු ලබයි. එම කාලය තුළ සටන් විරාමයක් පවතිනු ඇත. " යනුවෙන් හමාස් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේය.

ගිවිසුම පිලිබඳ ඊශ්‍රායලය තහවුරු කිරීම සිදු වූවේ දක්ෂිනාංශිකයින්ගේ විරුද්ධත්වය හමුවේ දීය. ඒ 38 දෙනෙකුගෙන් යුත් සම්පූර්ණ ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ දීර්ඝ රැස්වීමකින් පසුවය.

නෙතන්යාහු සිය කැබිනට් මණ්ඩලයට සහතික වූයේ ආරක්ෂක ආයතන සියල්ලම ප්‍රාණ ඇපකරුවන් ගනුදෙනුවට සහාය වන බවටයි.  එසේම සටන් විරාමය අවසන් වූ පසු නැවත සටන ආරම්භ කරන බවත්, හමාස්ට එරෙහි මිලිටරි ව්‍යාපාරයේ අවසානයක් මෙයින් අදහස් නොවන බවත්  නෙතන්යාහු පැවසුවේය.



"අපි යුද්ධයක යෙදී සිටිමු, අපි යුද්ධය දිගටම කරගෙන යන්නෙමු, අපගේ සියලු අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක් අපි ඉදිරියට යනවා."  යැයි නෙතන්යාහු පැවසීය.

සති හතක් පුරා සිදු කෙරෙන බෝම්බ ප්‍රහාර සහ අවහිර කිරීම්වලින් පසු උග්‍ර මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින ගාසා තීරයට තවත් ආධාර ලබා දීමට ඊශ්‍රායලය එකඟ වී තිබේ. ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන් වෙත රතු කුරුස සංචාර සහ ඖෂධ බෙදා හැරීම ද මෙම ගනුදෙනුවට ඇතුළත් වනු ඇතැයි සැලකේ.

ෙහමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර දියත් කර පුද්ගලයන් 1,200ක් පමණ ඝාතනය කරන ලද ඔක්තෝබර් 7 ගැටුමෙන් පසු ආරම්භ වූ සති හතක යුද්ධයෙන් පසු මෙවැනි සමන් විරාමයක් පැමිනෙන්නනේ, කටාර රාජ්‍ය මැදිහත් වී සති හයකට වඩා වැඩි කාලයක් සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.

හමාස් පාලනය යටතේ ඇති සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව ගාසා තීරයේ 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. තවත් 2,700 ක් අතුරුදහන් වී ඇති අතර ඔවුන් සුන්බුන් යට සිරවී ඇතැයි විශ්වාස කෙරේ.

 ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය කැඳවීමෙන් පසුව පැවති රැස්වීමකදී , හමාස් සංවිධානය “අතුගා දමන බවට” ජනපති නෙතන්යාහු ප්‍රතිඥා දී ඇත.

නෙතන්යාහුගේ ආන්ඩුව ගිවිසුම ගැන සාකච්ඡා කරන විට දී පවා ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දිගටම සිදු වූ අතර හමාස් සංවිධානය ද ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළේය.

තවත් ප්‍රාණ ඇපකරුවන් ඇතුළත් වන පරිදි ගනුදෙනුව වැඩිදියුණු කිරීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ මැදිහත්වීම උපකාරී වූ බව නෙතන්යාහු පැවසීය. ගිවිසුම ක්‍රියාත්මක වුවහොත්, ඊශ්‍රායලය තුල ඉතිරි වන්නේ ගාසා ප්‍රාණ ඇපකරුවන් 190ක් පමණ සංඛ්‍යාවකි. ඔවුන්ගෙන් අඩක් පමණ හමුදා සාමාජිකයන් යැයි සැලකේ.

හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාලයක් ඇති කටාර් රාජ්‍යය,  ඊශ්‍රායලය සහ අන්තවාදී ඉස්ලාමීය සංවිධානය අතර ප්‍රධාන අතරමැදියා වී ඇත. එහෙත් ඊජිප්තුව සහ වෙනත් රාජයයන්ද යම්තාක් දුරක භූමිකාවක් ඉටු කර ඇත.

සියලුම ප්‍රාණ ඇපකරුවන් හමාස් විසින් රඳවාගෙන නොසිටින අතර ඇතැමුන් වෙනම අන්තවාදී කල්ලියක් වන පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සහ ගාසා තීරයේ අපරාධකරුවන් භාරයේ සිටින බව ඊශ්‍රායල නිලධාරීන් පවසයි.

බොහෝ ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායල ජාතිකයන් වන නමුත් ප්‍රාණ ඇපකරුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකෙට ද්විත්ව ජාතිකත්වය ඇත. එම එටවල් අතරට ආර්ජන්ටිනාව, ජර්මනිය, ඇමරිකාව, ප්‍රංශය, තායිලන්තය, නේපාලය සහ රුසියාව ද ඇතුළත් ය. මුදා හරින ලද ප්‍රාන ඇපකරුවන් පිළිගැනීමට ඊශ්‍රායලයේ රෝහල් සූදානම් කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.



මෙම ගනුදෙනුව හමාස් හි සැලකිය යුතු ප්‍රචාරක කුමන්ත්‍රණයක් වන බව බොහෝ දෙනා පවසයි. එයට හේතුව වන්නේ 2011 වසරේ දී සිදු කරන ලද මෙවැනි හුවමාරුවකින් පසු ඊශ්‍රායල සිරගෙවල්වල වසර 23ක් ගත කළ ගාසාවේ හමාස් නායක යාහ්යා සින්වාර් නිදහස් කර ගැනීමේ හමාස් පුද්ගලික ජයග්‍රහණයයි . සින්වාර් යනු ඊශ්‍රායල රතු ලැයිස්තුවේ ඉහළින්ම සිටින පුද්ගලයා වන අතර, ඔහු සිටින ස්ථානය කිසිවෙකු නොදනී.

ගනුදෙනුවේ නියමයන් ඒ අයුරින්ම ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඉටු වන බව සහතික කිරීම සඳහා , ප්‍රාණ ඇපකරුවන් 50 දෙනාම ආරක්ෂිතව ගාසා තීරයේ දේශසීමා වෙත ළඟා වන බවට සහතික කිරීමට හමාස්ට සිදු වනු ඇත. එය ප්‍රධාන සැපයුම් අභියෝගයකි.

මෙම ගලවා ගැනීමෙන් පසුව ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් නෙතන්යාහු පීඩනයට ලක් වනු ඇත. අඟහරුවාදා සවස පාලක සභාගයේ කොටසක් වන අන්ත දක්ෂිනාංශික පක්ෂ කිහිපයක් මෙම යෝජිත ගිවිසුමට විරුද්ධ විය. වඩා හොඳ කොන්දේසි තහවුරු කර ගැනීම සඳහා ගාසා තීරය තුළ සිදු කරන ඊශ්‍රායල ප්‍රහාර තවත් තීව්‍ර කරන ලෙස ඔවන් ඉල්ලා සිටියහ. ඔවුන්ගේ එම ප්‍රකාශය ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල විරෝධතාවලට හේතු විය.

ඊශ්‍රායල නිලධාරීන් පවසා ඇත්තේ ඉදිරි දිනවලදී නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් හමාස් විසින් රඳවාගෙන සිටින අයගෙන් තෝරා ගන්නා බවත්, පසුව අනෙකුත් කන්ඩායම් විසින් රඳවාගෙන සිටින ඉතිරි ප්‍රාණ ඇපකරුවන් සොයා ගැනීමට උත්සාහ කරන බවත්ය.

පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ සන්නද්ධ අංශය අඟහරුවාදා දිනයේ දී නිවේදනය කළේ ඔවුන් ළඟ තබාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් එක් අයෙකු මිය ගිය බවයි.