57-watte-police-tense-situ

බ්‍රහස්පතින්දා (16) රාත්‍රී කාලයේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මුහුණදුන් බිහිසුණු අත්දැකීමක් ගැන පොලිසිය මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.

විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තීබී ඇති අතර ඔහු ලබාදුන් ඔත්තුවකට අනුව ජාවාරම්කරුවන් දෙදෙනෙකු උපක්‍රමශීලීව තැනකට ගෙන්වා අත්අඩංගුවට ගැනීමට යාමේදී
ජාවාරම් කරුවන් පැමිණෙමින් සිටි යතුරු පැදියකින් පලාගොස් ඇත.

 පලා යන අය පසු පස හඹා යාමේදී එම සැකකරුවන් කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ස්ටුවට් වීදිය 57 වත්තේ නිවසකට ඇතුළු වී තිබෙන අතර නිලධාරීන්  සැකකරුවන් සොයා ඒ තුළට ඇතුළු වූ පසුව එම ස්ථානයේ සිටි පිරිසක් නිලධාරීන්ගේ ශරීරයට පෙට්‍රල් විසිකරමින් ගිනි තැබීමට උත්සහ කර අතින් පයින් පහරදී රාජකාරියට බාධා කර ඇත.


එම අවස්ථාවේ නිලධාරීන් විසින් හඹා පැමිණි සැකකරුවන් දෙදෙනාට අත්විලංගු යොදා ගන්නට සමත්වූ නමුත් පිරිස කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ට පහරදීමට පටන්ගෙන තිබේ.
මෙම අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා අත් විලංගු ද සමඟ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇත.

එම ස්ථානයේ සිටි පිරිස දිගින් දිගටම කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් මන්නා පිහි ඇතුළු ආයුධ වලින් පහර දීමට සැරසුණු අවස්ථාවේදී ආරක්ෂාව පිණිස තත්ත්වය පාලනය කිරීමට නිලධාරීන් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇත.



අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, රාජකාරියට බාධා කරමින් මෙසේ ප්‍රචණ්ඩකාරීව හැසිරුණු සැකකරුවන් 06 දෙනෙකු සහ සැකකාරියන් 03 දෙනෙකු, පලාගිය සැකකරුවන් පැමිණි යතුරු පැදිය හා පෙට්‍රල් ගැසීම සඳහා යොදා ගත් බෝතල් 02 ක්ද සමඟ කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 24 ත් 44 අතර වයස් වල පසුවන හා සැකකාරියන් අවුරුදු 30, 54 හා 60 වයස්වල පසුවන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියකු ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන්17 වන දින කොටු‍ෙමහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා 2023.11.28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පලායන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.