Criticisms-about-the-people-of-Wattala-who-sacrificed-robes-to-the-idol-of-Aukana

අද (26) ඉල් පොහොය දිනයේ අනුරාධපුර අවුකන පිළිම වහන්සේට සිවුරු අන්දවා පූජාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ කථාබහක් මතුව තිබේ. පොහොය වෙනුවෙන් කොළඹ වත්තල ප්‍රදේශයේ කණ්ඩායමක් පැමිණ අවුකන භාරකාර ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය සහිතව මෙම පූජාව කර ඇති බවට තොරතුරු වාර්තාවේ.
මේ දිනවල රැල්ලක් ලෙස පැතිරෙන ‘සුගත චීවර පූජා“ විදික්‍රමය ඔස්සේ යමින් ඓතිහාසික ශෛලමය ප්‍රතිමා වහන්සේට මේ ආකාර චීවරයක් පැළඳවීමට විශාල වියදමක් දරා ඇති අතර මෙම පූජාවෙන් පසු චීවරය සහිතව බුදු පිළිමය අස්වාභාවික ආකාරයට පෙන්නුම් කිරීම බෞද්ධයන්ගේ කෝපයට හේතුවී තිබෙයි.



 අනුරාධපුර යුගයේ නිර්මාණය වූ හිටි පිළිම සලකා බලන කල්හි ඉතාම වැදගත් නිර්මාණයක් ලෙස අවුකන බුද්ධ ප්‍රතිමාව සදහන් වේ. මෙය ක්‍රි.ව 5 වන සියවසේ රජකල විශිෂ්ට රජෙකු ලෙස සැලකෙන ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් ලෙස සැලකෙයි.

කලා වැව ආසන්නයේ අවුකන ග්‍රාමයේ පිහිටි කළුගල් පර්වතයේ පූර්ණ උන්නතව පද්මාසනයක් මත වැඩසිටින ආකාරයෙන් නිර්මිත මේ බුදුපිළිමය උසින් අඩි 38යි අගල් 10 කි. දකුණු අතින් අභය මුද්‍රාවත් වමතින් සිවුරු රැල්ල දරා සිටින අයුරින් නිර්මිතයි.
මෙම බුදුපිළිමයෙන් පිළිබිඹු කරනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේ නොව දීපංකර බුදුරජාණන් වහන්සේ බවටද මතයක් පවතී.
පැරණි ඉන්දියාවේ කලාව තුල පැවැති විශිෂ්ටත්වය පෙන්නුම් කරන අමරාවතී බුදුපිළිම වල දක්නට ලැබෙන ලක්ෂණ අවුකන බුදුපිළිමයේද දකින්නට හැකිය.