Death-penalty-for-4-who-killed-a-person-and-amputated-the-hand-of-another

අමුගොඩ, අලුත්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයෙකුගේ අතක් වෙන් වන සේ කපා දැමූවේ යැයි වරදකරුවන් වූ චූදිතයන් සිව් දෙනෙකුට මරණ දඬුවම ලබාදෙන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා 22දා සවස නියෝග කළේය.

මෙසේ මරණ දඬුවම නියම වූයේ, අමුගොඩ, කංගංගොඩවත්ත පදිංචි හික්කඩුවගේ නිහාල් රංජිත්, මුල්ලේරියාව, හොඩැල්ලපාර පදිංචි දිසානායක අප්පුහාමිලාගේ සුගත් කුමාර දිසානායක, මුල්ලේරියාව වෙන්නවත්ත පදිංචි කෙපාත නෙත්තිගේ අජිත් කුමාර අබේසේකර හා අමුගොඩ, කංගංගොඩවත්ත පදිංචි කදිරප්පුලි හේවගේ ශාන්ත නමැත්තන් වෙතය.



මේ නඩුවට පෙනී නොසිට අධිකරණය මගහැර පළා ගොස් සිටින කෙම්පාත නෙත්තිගේ අජිත් කුමාර අබේසේකර නමැත්තා දුටු තැන ඇල්ලීමට විවෘත වරෙන්තු නිකුත් කර ඔහු වහාම අත්අඩංගුවට ගෙන අදාළ දඩුවම ලබාදෙන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

චූදිතයන් අතින් මෙලෙස ඝාතනය වී තිබුණේ, අමුගොඩ, අලුන්ගෙදර වත්ත පදිංචි කලුපහේ ගාමිණී නිහාල් නමැත්තාය. එසේම චූදිතයන්ගේ පහරදීමෙන් අතක් අහිමි වී තිබුණේ අමුගොඩ, අලුත්ගෙදර වත්ත පදිංචි කලුපහේ ආනන්ද නමැත්තාටය.

මරණීය තුවාල සිදු වූ කලුපහේ ගාමිණී නමැත්තාට වැරදිකරුවන් වූ චූදිතයන් සිව්දෙනාගෙන් එක්අයෙකු රුපියල් ලක්‍ෂ තුනක වන්දියක් බැගින් රුපියල් ලක්‍ෂ දොළහක වන්දි මුදලක් ගෙවන ලෙසත්, වන්දි මුදල් නොගෙවන්නේ නම්, එක් චූදිතයෙකුට වසර දෙකක බැගින් ලිහිල් සිඑදඩුවමක්ද ලබාදෙන ලෙස මහාධිකරණ විනිසුරුවරයාත්නියෝග කළේය.



ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දෙපිරිසක් අතර ඇති වූ මේ ගැටුම 2002 දෙසැම්බර් මස 16වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී සිදුවී තිබිණි. වසර 21ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චූදිතයන් සිව්දෙනාට මෙලෙස මරණ දණ්ඩනය නියම කෙරුණු අතර, මේ ඝාතනය හා මරණීය තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කාන්තා හා පිරිමි දොළොස් දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පවරන ලදි.

මේ චූදිතයන් දොළොස් දෙනාගෙන් ඊට චෝදනා ලැබ සිටි කාන්තාවන් හයදෙනෙක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළුව අටදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරිණ. පිටිගල පොලීසිය විසින් පවත්වාගෙන ගිය මේ නඩුව රජයේ අධිනීතිඥ සොම්‍යා විජේසිංහ මෙනෙවිය විසින් මෙහෙය වූ අතර, ඊට පිටිගල පොලීසියේ කරුණාරත්න මහතා විසින් සහයෝගය ලබාදෙන ලදි.

කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත