Medicine-Cabinet-Memorandum-to-CID

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ වරිග 182ක් ගෙන්වීම සදහා සෞඛ්‍ය ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කියන කැබිනට් පත්‍රිකා රහස් පොලිසියට බාර දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (24) නියම කළාය.

ප්‍රමිතියෙන් තොර බාල ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු දෙදෙනකුගෙන්ද මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සිවුදෙනකුගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ ගැනීමටද මහේස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.



ප්‍රමිතියෙන් තොර බාල ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා අවසර දුන්නාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්' නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් 'අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.



ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් මෙරටට ඖෂධ ගෙන්වීම සහ ඊට අදාළ ක්‍රමවේද මොනවාද යන්න හෙළිකර ගැනීමට අවශ්‍ය වී ඇතැයිද අදාළ මුදල් භාණ්ඩාගාරයට ලැබුණු අන්දම සහ ඒවා වියදම් කළ ආකාරය හෙළිකර ගැනීමට අවශ්‍ය වී ඇතැයිද දැනුම් දුන් නිලධාරීහු මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය වී ඇතැයිද කියමින් ඒ සඳහා අවසර ඉල්ලා සිටියහ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන සහ නියෝජ්‍ය ලේකම් රත්නායක යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවශ්‍ය වී ඇතැයි දැනුම් දෙමින් නිලධාරීන් කළ ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය අදාළ කැබිනට් පත්‍රිකා රහස් පොලිසියට බාර දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කළාය.



සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එම තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් ලේඛන අවශ්‍ය වී ඇතැයි කියමින් රහස් පොලිස් නිලධාරීන් කළ ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය අදාළ ලේඛන රහස් පොලිසියට බාරදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදෙන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට නියම කළාය" සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එම තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් ලේඛන අවශ්‍ය වී ඇතැයි කියමින් රහස් පොලිස් නිලධාරීන් කළ ඉල්ලීමකට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය අදාළ ලේඛන රහස් පොලිසියට බාරදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදෙන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නියම කළාය.

මේ අතර ප්‍රමිතියෙන් තොර බාල ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධියට අදාළව විදේශ ගමන් තහනමක් පනවා ඇති වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ධර්මසිරි රත්නකුමාර මහතා අපේක්‍ෂිත ඇපයක් මත මුදාහැරීමට නියම කරන්නැයි ඉල්ලමින් ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ නඩු සම්බන්ධයෙන් සහ විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන් අපේක්‍ෂිත ඇප නියම කිරීමට හැකියාවක් නැතැයි පෙන්වා දුන්නාය.
-  මනෝප්‍රිය ගුණසේකර