ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ ඇතුළු සිවුදෙනකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් ඛාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය 20 දා නියම කළාය.වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලය ඉබි යතුරු දමා වසා ආරක්‍ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරිය මෙම අපරාධයට අදාළ ලිපි ලේඛන සොයා ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට වැඩිදුරටත් නියම කළාය.මෙම අපරාධයට වගකිවයුතු ප්‍රධානතම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සැකකරුවන්ද ඉදිරි දිනය වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස රහස් පොලිසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන් පරපීඩක ආශාවන් නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවක් අධිකරණයට නොපෙනෙන්නේ යැයිද සැකකරුවන් හුදු නොසැලකිලිමත්කමට වඩා අපරාධමය චේතනාවකින් යුතුව කටයුතු කර ඇති බවක් පෙනෙන්නට ඇතැයි ද ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කරමින් සඳහන් කළාය.
වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාට අමතරව මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර නමැති මහත්ම මහත්ම මහත්මීන්ය.මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා
මේ වන විටත් රිමාන්ඩ් බාරයේ පසුවේ.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව' කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සිද්ධියට අදාළව කළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සිවුදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උපපොලිස් පරීක්‍ෂක යාළේවත්ත මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.රහස් පොලිසිය සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් හදිසි මිලදී ගැනීම් යටතේ පස්දෙනෙකුගෙන් සමන්විත ඇගයීම් කමිටුවක් විසින් කළ මිල කැඳවීම් යටතේ මාර්ගගත ආකාරයෙන් ඉදිරිපත් කළ මිල කැඳවීම් මත මෙම ඖෂධ ගෙන්වා ඇතැයි කීවාය.
යම් ඖෂධයක් රෝගීන්ට දීමට පෙර එම ඖෂධ නිසි තත්වයෙන් ඇද්ද? එම ඖෂධ ගෙන්වීම සඳහා අවසර දී ඇද්ද? යන්න පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් සැකකාර කපිල වික්‍රමනායක මහතා තහවුරු කරගත යුතු යැයිද මෙම ඖෂධවල තත්ව පාලනය පරීක්‍ෂා කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපදෙස් දී ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය රෝගීන්ට සංකූලතා ඇති නොවන අන්දමට නිසි අවස්ථාවේ දී නිසි ඖෂධ දීම සඳහා වගකීමක් දැරීමට හැකියාව ඇති නිලතල සඳහා සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයා සහ සහකාර අධ්‍යක්‍ෂවරිය වශයෙන් 02 සහ 03 සැකකරුවන් පත් කර ඇතැයි ද පෙන්වා දුන්නාය.
ඩබ්ලිව් ඕ ආර් සහතිකය ගොනුවට ලැබුණු පසු එම සහතිකය ඖෂධ නියාමන අධිකාරියෙන් නිකුත් කර ඇද්ද යන්න සොයා බැලීමේ වගකීම මෙම සැකකරුවන් සිවුදෙනාටම ඇතැයි ද ඒ සඳහා උපාධි අවශ්‍ය වන්නේ නැතැයි ද ලක්මිණී ගිරිහාගම මෙනවිය කීවාය.ඒ අවස්ථාවේ දී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය මෙම ලේඛන ස්කෑන් පිටපත්දැයි විමසූ විට ඊට “නැහැ ඡායා පිටපත් යනුවෙන් ලක්මිණී ගිරිහාගම මෙනවිය පිළිතුරු දුන්නාය "
මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය - මුල් ලේඛන නොමැතිව මුදල් ගෙවන්නේ කොහොමද?නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය. අපිටත් තියෙන ප්‍රශ්නය ඒකම තමා. ලේඛනයක් නොමැතිව රුපියල් මිලියන 44ක මුදලක් ගෙව්වේ කොහොමද කියන එක.
ඖෂධයේ අඩංගු සංඝටක මොනවාද? ඖෂධයේ තත්වය කෙසේද? ඖෂධය රෝගීන්ට දීමට සුදුසු තත්වයේ තිබේද ආදිය සෙවීම සඳහා සී ඕ එල් සහතිකය අවශ්‍ය බවත් රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමට මිස රෝගීන් මරා දැමීම සඳහා ඖෂධ නොදිය යුතු බවත් පෙන්වා දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙම සැකකරුවන් අපරාධමය මනසකින් යුතුව කටයුතු කර ඇති බවත් මෙම සැකකරුවන් අදාළ ඖෂධය රජයට සැපයීම සඳහා පළමු සැකකරුට ආධාර නොකළා නම් ඔහුට අදාළ ඖෂධය සැපයීමට හැකියාවක් නොලැබෙන බවත් පෙන්වා දුන්නාය.
සැකකරුවන්ගේ කටයුතු කර ඇති ආකාරය දෙස බැලීමේ දී ජනතා බදු මුදලින් ඔවුන්ට වැටුප් ගෙවා ඇත්තේ කුමකටද යන්න සිතා ගැනීමට නොහැකි බවත් තමන්ගේ ජීවිත උගසට තබා බෙහෙත් බීමට රෝගීන්ට සිදුව ඇති බවත් පෙන්වා දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය කලින් සිටි නිලධාරීන් මොනවා කළාද කියා ඇඟ බේරා ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නැතැයිද කීවාය. අදාළ ඖෂධය පරීක්‍ෂා කිරීමේ ඇගයීම් කමිටුවේ අසුන් ගත් මෙම සිද්ධියේ දෙවැනි සැකකාරිය ප්‍රකාශයක් දෙමින් ‘අපි හිතුවේ බෙහෙත් ඉන්දියාවේ නිෂ්පාදනය කරලා ගෙන එයි කියලා අපි හිතුවා’ පවසා ඇතැයි ද එසේ මනෝලෝකවල සිට කටයුතු කිරීමට බලධාරීන්ට හැකියාව නැතැයි ද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙම සිද්ධියේ මුදල් ගිය තැන් සොයන බවත් මෙම අපරාධයට සම්බන්ධිත අයවලුන් සොයන බවත් කීවාය.
කිසිදු පරපීඩකයකුගේ ආශාවන් සංතෘප්ත කිරීම සඳහා මෙම විමර්ශනය කර නැතැයි ද සාමාන්‍ය බුද්ධියකින් යුත් විමර්ශන නිලධාරීන්ට මෙම අපරාධය කර ඇති ආකාරය තේරෙනවා නම් වෘත්තීමය භාවයකින් හෙබි වසර ගණනක පළපුරුද්දකින් යුත් මෙම සැකකරුවන්ට ඒ බව නොතේරෙන්නේ මන්දැයි ප්‍රශ්න කළ ගිරිහාගම මෙනවිය මෙම අපරාධයට සම්බන්ධිත ලිපි ලේඛන දෙවැනි සැකකරුගේ කාර්යාලයේ තැබීමට හැකියාව ඇති හෙයින් එම කාර්යාලය පරීක්‍ෂා කිරීම සඳහා රහස් පොලිස් නිලධාරීන්ට සෝදිසි වරෙන්තුවක් දෙන ලෙසත් එතෙක් අදාළ කාර්යාලය ඉබි යතුරු දමා ආරක්‍ෂා කිරීමට ද අදාළ කාර්යාලය පරීක්‍ෂා කිරීම සඳහා රහස් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.
සැකකරුවන් මෙම අපරාධයට සම්බන්ධිත හෙයින් ඔවුන් රිමානඩ් බාරයට පත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගිරිහාගම මෙනවිය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥයන් කරුණු දක්වමින් අධිකරණය පැමිණිල්ලේ රබර් මුද්‍රාවක් නොවිය යුතු බව නඩු තීන්දුවල සඳහන් වී ඇතැයි එම නඩු තීන්දු ගෙනහැර දක්වමින් පෙන්වා දුන්නේය.මෙම සිද්ධියේ දෙවැනි සැකකාර වෛද්‍ය වික්‍රමනායක මහතා විශේෂඥ පුහුණුවක් සඳහා 2022/01/04 වැනිදා විදේශගතවී යළි මෙරටට පැමිණ ඇත්තේ 2022/12/16 වැනිදා බවත් මෙම නඩුවට අදාළ සිද්ධියේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇත්තේ ඔහු විදේශගතව සිටියදී බවත් කී ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා රහස් පොලිසිය අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුවූ ආකාරය පිළිබඳව විමර්ශනය කර නැතැයිද කීය.
තම සේවාදායකයා යටතේ සේවකයින් 500 ක් පමණ සිටින බවත් ඖෂධ 14000කට අධික සංඛ්‍යාවක් පරීක්‍ෂා කිරීමට පැවරී ඇති බවත් පෙන්වා දුන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තම සේවාදායකයා අදාළ තනතුරේ වැඩ බාරගැනීමට පෙර ලේඛනයක ඉදිරිපත් කර ඇතැයි ද කීය. මහෙස්ත්‍රාත්වරිය. කවදා වැඩ බාරගත්තත් එම කටයුත්තට අදාළ රාජකාරී කළ යුතුයි.මෙම සිද්ධියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට දෙවැනි සැකකරුගේ කිසිදු සම්බන්ධයක් නැතැයි කී ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතා මෙම ඖෂධය ගෙන්වීම සඳහා ටෙන්ඩරය දීමට මුල් වූ ඇමතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන කළ යුතු යැයිද කීය.
තම සේවාදායකයා කුමන්ත්‍රණ කටයුත්තකට සම්බන්ධ වී නැති බවත් මෙම සිද්ධියේ දී ඔහුත් වින්දිතයකු වී ඇති බවත් ඔහු අපරාධමය වගකීමකට යටත් කිරීමට හැකියාවක් නැති බවත් කී සාලිය පීරීස් මහතා ඕනෑම කොන්දේසියක් යටතේ ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.තුන්වැනි සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් තම සේවාදායිකාව මෙම සිද්ධියේ සාක්කිකාරියක් පමණකැයි ද රජයෙන් කියන පරිදි ඩබ්ලිව් ඕ ආර් ලේඛන පරික්ෂා කිරීමේ හැකියාවක් ඇයට නැතැයි ද තම සේවාදායිකාවට දුන් කූඨ ලේඛනයක් නිසා ඇය ද නොමඟ ගොස් ඇතැයි ද මේ තත්වය යටතේ ඇයට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.සැකකාර නෙරාන් ධනංජය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු සමඟ හෝ කුමන්ත්‍රණයක් කර නැතැයිද ටෙන්ඩර් පත්‍රය ඔහුට ලැබුණු පසු වච්චර් පත සකස් කර ඉදිරිපත් කිරීම පමණක් ඔහු කර ඇතැයි ද කීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් ඔවුන් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළාය. නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ හේෂාණි විජේසිංහ මහත්ම සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය. පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරුන් වන යාළේවත්ත, ලක්සිරි, සැරයන්වරුන් වන ප්‍රනාන්දු සහ මනෝජ් සමඟ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා පෙනී සිටියේය. සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් වන අංජන රත්නසිරි, ගීත් කරුණාරත්න, ධම්මික, රුක්‍ෂාන් මෙන්ඩිස් ඇතුළු නීතීඥවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.
මනෝප්‍රිය ගුණසේකර
0 Comments