Yang-Hengjun-family-apeal

චීනයේ සිරගත කර සිටින ඕස්ට්‍රේලියානු ලේඛකයෙකුගේ පවුලේ පිරිස ඔහුව ඉක්මනින් නිදහස් කරන ලෙස චීන රජයෙන් ඉල්ලා සිටිති.
යැං හෙන්ජුන් නම් එම පුද්ගලයා ඔත්තු බැලීමේ චෝදනා මත වසර පහකට ආසන්න කාලයක් රඳවා තබාගෙන ඇත. ආචාර්ය යැං 2021 වසරේ දී රහසිගතව නඩු විභාගයට ලක් කර ඇත.  නමුත් ඔහුගේ චෝදනා ප්‍රසිද්ධියට පත් කර නොමැත.

ඕස්ට්‍රේලියා - චීන සබදතා තර කර ගැනීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු අගමැති මෙම සති අන්තයේ දී බීජිං හී සංචාරය කිරීමට නියමිතව ඇත.   ඒ අනුව 2016 වසරෙන් පසු චීනයට පැමිණෙන පළමු ඕස්ට්‍රේලියානු නායකයා ඇල්බනීස් මහතා වනු ඇත.




 ඔහුගේ එම සංචාරය සිදු වීමට පෙර යැංගේ පුතුන් විසින් අගමැති ඇන්තනි ඇල්බනීස් වෙත ලිපිය යවා තිබේ. ලිපිය තුළින් , මෑත සතිවල දී යැංගේ සෞඛ්‍යය "ශීඝ්‍රයෙන් පිරිහී ඇති" බව පවසමින් "අපේ පියාගේ ජීවිතය බේරා ගැනීමට ඔබට හැකි සෑම දෙයක්ම කරන්න" යැයි ඇල්බනීස් මහතාගෙන් ඉල්ලා සිටී.
ඔහු සෙනසුරාදා බීජිං වෙත යෑමට නියමිත අතර එම සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින්පින් සහ අගමැති ලී ක්වියාන් හමුවනු ඇත.

මීට පෙර චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කළ ආචාර්ය යැං, චීන කටයුතු ගැන අදහස් පළ කළ ඕස්ට්‍රේලියාවේ විශාරදයෙක් සහ නවකතාකරුවෙකු විය. ඔහු "ප්‍රජාතන්ත්‍රවාදයේ රස්තියාදුකාරයා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබීය.

57 හැවිරිදි යැං , 2019 ජනවාරි මාසයේදී චීනයේ Guangzhou ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔත්තු බැලීමේ චෝදනාව මතය. එතැන් සිට ඔහුගේ නඩුව රහසිගතව සිදුවුණි.



ඕස්ට්‍රේලියානු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදු වූ මුල් කාලයේ දී ඒ සම්බන්ධව අවධානය යොමු කර සිටියේය. එහෙත් චීනයේ විදේශ අමාත්‍යාංශය ඔවුන්ට අනතුරු අඟවා ඇත්තේ නඩුවට මැදිහත් නොවන ලෙසත්, ජාතියේ "අධිකරණ ස්වෛරීභාවයට" ගරු කරන ලෙසත් පවසමිනි.

වෛද්‍ය යැං රැඳවුම් භාරයේ සිටියදී "300 කට වැඩි ප්‍රශ්න කිරීම්වලට" සහ "මාස හයකට වඩා දරුණු වධ හිංසාවලට" ලක්ව ඇති බව ඔහුගේ පවුලේ අය පවසයි.

අගෝස්තු මාසයේදී ඔහුට වකුගඩුවක විශාල ගෙඩියක් ඇති බව ඔහු දැනගෙන තිබේ. "පසුගිය සති 3 තුළ ඔහුට ඇවිදීමට නොහැකි වූ බවත් , මූලික වශයෙන් ඇඳේ සිටි බවත් , ඔහුගේ ඇඳේ සිට සිර කුටියේ වැසිකිළියට ඇති මීටර් 4 ක දුර  ඇවිදීමට පවා අපහසු වූ බවත් ඔහු පවසා තිබේ" යනුවෙන් ලිපියේ දැක්වේ.

යැන්ග් රඳවාගෙන සිටින විට සිදු කරනු ලැබූ ප්‍රථම සෞඛ්‍ය පරීක්‍ෂණවලදී මෙම ගෙඩි හඳුනාගෙන ඇති නමුත් චීන බලධාරීන් ඒ ගැන “කිසි විටෙකත් ඔහුට පවසා නැත” යනුවෙන් ද  ලිපිය ප්‍රකාශ කරයි.