ambalangoda-family-matter

නිවසේ කාමරයක සිරකර පුටුවක ගැට ගසා ඇද ඇතිරිලි, කොට්ට, මෙට්ට ඇඟට දමා සිය බිරිය ගිනි තබා ඝාතනය කිරීමට ලයිටරය ගසා ගිනි දැල්වීමට සූදානම්වූ බව කියන සැමියකු පෙරේදා (23) පස්වරුවේදී බලපිටිය, රන්දොඹේ දී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.



ඔහු මිනීමැරුම් නඩුවක ප්‍රධාන සැකකරුවකු වන අතර ඇපමත සිටින අයකු බවද පොලිසිය සඳහන් කරයි.

පොලිසිය එම නිවසට යන අවස්ථාවේදී සැකකරු කාමරයේ දොරවල් වසාගෙන බිරියට ගිනි තැබීමට ලයිටරය ගසමින් සිට ඇති අතර අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන් මහතා දොර කඩාගෙන කාමරයට ගොස් සැකකරු සමග පොරබදා ඔහු මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු බිරියගේ සොහොයුරාට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාව යටතේ සැකකරු මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිට ඇප මත සිටින අයකු බවත් එසේ ඇප මත පැමිණ සිටියදී එම ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි දෙන බිරියගේ මවට සාක්ෂි නොදෙන ලෙස බලකරමින් මරණ තර්ජනය කර මාස විසිනවයක් යළිත් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බවත් පොලිසිය පවසයි.



මෙවර ඇපමත පැමිණි මේ සැකකාර සැමියා සිය මස්සිනාගේ ඝාතනය සම්බන්ධයෙන් භාර්යාවගේ සාක්ෂි වසන් කිරීමට ඇය ඝාතනය කරන්නට සූදානම්ව සිටි බවත් ඒ සඳහා කාමරයේ සිර කොට සිටි භාර්යාවගේ මරළතෝනිය ඇසුණු අයකු දුන් තොරතුරකට අනුව එම නිවසට ගොස් සැකකරුගේ ගිනි තැබීමෙන් ඇය බේරාගැනීමට හැකි වූ බවත් පොලීසිය කියයි.

යම් හෙයකින් ඔහු ගිනි තැබීමට ගස ගසා සිටිය ලයිටරය පත්තු වූවේ නම් තත්වය මීට වෙනස් වන බවත් පොලීසිය එම ස්ථානයට ක්ෂණිකව ගොස් දොරකඩා කාමරයට ඇතුළු නොවූයේ නම්  සැකකරු ගිනි තබා හෝ පහරදී භාර්යාව ඝාතනය කිරීම නොවැළැක්විය හැකිව තිබූ බවද පොලීසිය කියයි.



සිය භාර්යාව ගිනි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ සැකකරු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පසන්න ඇල්ගිරියගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන්, උපපොලිස් පරීක්ෂක නන්දන, පියල්, පොලිස් කොස්තාපල්වරුන් වන ඉන්දික (740099), අමිල (76865) යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත