අමිල මධුෂාන් තිස්හැවිරිදි තරුණයෙකි. කොටහේන සෙන් බෙනඩික් විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වූ ඔහු ක්‍රීඩාව, කලාව පමණක් නොව පාසල් අධ්‍යාපන කටයුතුවලදී සෙසු සිසුන් අතර පෙරමුණ ගත්තේ ගුරු දෙගුරුන්ගේ පමණක් නොව සහෝදර සිසුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වෙමිනි.
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලදී පාසල් මාතාවට ආඩම්බරයක් ගෙන දෙමින් ඔහු ඒ කඩඉම් පැනගත්තේ සරසවි වරම් ලබමිනි. ගණිත අංශයෙන් උසස් පෙළ ඉහළින්ම සමත්වූ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයට තේරී පත්වුණේ ඉංජිනේරුවකුවීමේ සිහිනය මල්ඵල ගන්වමිනි.
විශ්වවිද්‍යාලය තුළත් ඔහු කැපී පෙනුන සරසවි සිසුවෙකු විය.
ගණිතයට උපන් හපන්කම් පෑ ඔහු උසස් පෙළ කරන සමයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන කාලයේත් ඊට පසුවත් ගණිතය අසමත් දරුවන් සොයා ඔවුනට ඒ ශාස්ත්‍රය කියා දුන්නේ නිර්ලෝභීවය. එනිසාම ඔහුට සතර අතින් දෙමාපියන් ඇරැයුම් කළේ දරුවන්ට අමතර පන්ති පවත්වන ලෙසිනි. මුදලට වඩා ඒ යුතුකමට තැන දුන් අමිලට ටියුෂන් ගුරුවරයකු ලෙස ප්‍රසිද්ධ වන්නටත් මහා ධන සම්භාරයක් එක්රැස් කර ගන්නටත් පාර පෑදී තිබිණි. නමුත් මුදල් පසු පස ලුහුබැඳ නොගිය ඔහු ඉංජිනේරුවකු ලෙස උපන් බිමට සේවය කරන්නට තීන්දු කළේය. උපාධිය ගත් පසු ඔහු ගාල්ල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට බැඳී සේවය කළේය.
පසුව ලද අවස්ථාවෙන් ඔහු, හැඳල, වත්තල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික විදුලි බලාගාරයක ඉංජිනේරුවකු ලෙස බැඳුණේය. මෙම බලාගාරය පුද්ගලික එකක් වුවත් එහි කොටස් අයිතියක් ලංවීම හා රජය සතුව ඇත.
මෙම බලාගාරයේ වැඩ කළ අමිල වත්තල කුඩා ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචියට ආවේ තනි නොතනියට සහකාරියක් කරකාර බැඳගත් පසුවය. වසර ගණනාවක් තිස්සේ දැන හඳුනාගෙන සිටි එකී තරුණිය හා අමිල අතර ප්‍රේමවෘත්තාන්තයක් ඇරැඹියේ ඔවුනටද නොදැනය. දැන හඳුනාගෙන සිටි මේ තරුණිය තම බිරිඳ වූ දවස තරම් සොඳුරු දිනක් අමිලට තිබුණේ නැත. ඇයට ද එලෙසිනි. ආදරයක මිහිර එක සොඳුරු කැඳැල්ලක් වූ පසු දෙදෙනාගේ ම පැතුම වී තිබුණේ පුංචි දරුවකුගේ සුරතල් බැලීමය. විවාහ වී ගතවී ගියේ මාස දෙක තුනකි. අමිල රාජකාරියට ගිය විටදී ද දෙදෙනා ඉඩල ද හැම විට ම වට්ස් ඇප් මගින් අදහස් හුවමාරු කරගන්නට ක්‍රියා කළේ ඒ වෙන්ව දුර සිටිනා කාලයේ වුවත් දෙදෙනාට දෙදෙනා සිහිවන බැවිනි.
දිනය ඉකුත් 08 වැනිදාය. ඔහු රාජකාරිය අතරතුර ලද විරාමයකදී වට්ස්ඇප් පණිවුඩ බැලුවේ ආදරණීය බිරිඳ සිහිවූ නිසාය.
ඔයා හවස පහට ගෙදර එන්න” ඇය පවසා තිබිණි.
“අනේ බබා මේ සක්කිලි මාව කනවා. එපාවෙලා ඉන්නෙ” අමිල කෙටි උත්තරයක් වට්ස්ඇප් කළේය.
“ඇයි අමිල, සන්සුන් වෙන්න. කවුද බැන්නෙ’‘ ඇය විමසුවාය. සැනසුවාය. “ගෙදර ඇවිත් කියන්නම්” අමිල අවසන් වරට ලියූ වචන ටික ඒකය.
අමිල සවස 5.00 ට නිවසට ආවේ නැත. මෙම බලාගාරයේ අඩි 40 ක් පමණ උස තරප්පු පෙළක නඟිමින් සිටි ඔහු අඩි විස්සක පමණ උඩකින් බිම ඇද වැටිණි. දහසකුත් එකක් ප්‍රාර්ථනා පොදි ද අමිලත් සමග බිම වැටී පොඩි පට්ටම් වී ගියේය. මාරයා අමිලව රැගෙන ගියේ ඇසිල්ලෙනි. මියගිය අමිලගේ නිසල සිරුර රාගම රෝහලට ගෙන ගියේ හදිසි මරණ පරීක්‍ෂණය සඳහා ය.
ආදරයේ මිහිරි සුවඳ විඳ අලුත් කැදැල්ලක් තනා සතුටින් දිවි ගෙවන්නට පෙරුම් පිරූ ඇය දමා ඔහු දෙව් මව් තුරුලට යන්න ගියේය. ඇය වැළහින්නියක සේ හඬන්නීය. අමිලගේ දෙමාපිය ඥාතීන්ගේ හදපුරා බුර බුරා නැඟි වේදනාව කඳුළු බවට පෙරළී දෙකොපුල් දිගේ රූඩා කඩා හැළිණි.
දැන් සියල්ල අවසන්ය. රාජකාරී අතර මැද ඔහු මියගියේ කෙලෙස ද? සේවය කරන අතර ඔහු බිරිඳට එවා තිබුණේ වට්ස්ඇප් පණිවුඩය ද පොලිසියට දී තිබුණි. ඔහුගේ මරණය පිළිබඳව බිරිඳත් ඥාතීන් අතර ඇත්තේ සැකයකි. ඒ පරීක්‍ෂණ කටයුතු පොලිසියට භාර කළේය. නමුත් මියගිය අමිල වෙනුවෙන් තවත් සාධාරණයක් අවැසිය. රාජකාරී අතරතුර ඉහළින් ඇද වැටී මියගිය ඔහු වෙනුවෙන් සාධාරණ වන්දියක්වත් ලබාදිය යුතුය. වෙන රටක නම් අවධානමට රැකවරණ ඇත. මේ ආයතනයත් ඒ අවධානම මත පෙර සූදානමක් තබා තිබිය හැකිය. මියගිය අමිලට කළයුතු ලොකුම සාධාරණය ඉටු කළ යුතුව ඇත. විවාහවී මාස දෙක තුනක් තුළ සියලු පැතුම් සුන්ව සිටින ඒ තරුණ බිරිඳට මේ සිදුවූ විපත තාමත් සිහිනයකි. ඇය හඬන්නීය. වැළපෙන්නීය. ඒත් අමිල දෙව් මව්තුරුලට වී යුක්තිය දෙස බලා සිටී.
ශිරාන් රණසිංහ (දිවයින)
0 Comments