ampara-issue

අම්පාර, මායාදුන්න ගම්මානයේදී විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයෙක් පෙරේදා  (06දා) වෙඩි තබා ඝාතනය කර තිබේ. විශ්‍රාමික සැරයන් ටී.බී. සෙනෙවිරත්න නමැත්තෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. මොහු කුඹුරේ වැඩ කර සවස නිවස පිටුපස දියනාමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩිවැදුණු ඔහු නිවසේ මුළුතැන්ගෙට පැමිණ ඇති අතර එහිදී මිය ගොස් තිබේ.



වෙඩි වැදුනු සැරයන්වරයා  මියයාමට පෙර වෙඩි තැබු පුද්ගලයාගේ නම තම බිරිඳට පවසා ඇති බව විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ. කුඹුරක ආරවුලක් නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට විමර්ශන වලදී හෙළිව ඇත.

සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. බණ්ඩාරදූව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

දිගාමඬුල්ල - ඩබ්.චන්ද්‍රපාල