angelo-mathews-speaks

බංග්ලාදේශ ක්‍රීඩකයන් සිය කණ්ඩායමෙන් ගෞරවය ලබාගැනීමට නම්, මුලින්ම තම කණ්ඩායමට මෙන්ම ක්‍රීඩාවටද ගෞරවය ලබාදිය යුතු බව ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

හෙතෙම මේ බව පවසා සිටියේ, බංග්ලාදේශය සමග පෙරේදා (06දා) පැවති තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

තරගයෙන් අනතුරුව පිටිය තුළදී බංගලාදේශ ක්‍රීඩකයන්ට අතට අත ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් ප්‍රතික්‍ෂේප කිරීම පිළිබද මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මැතිව්ස් ඉහත අදහස් දක්වා සිටියේය.



මෙම තරගය අතරතුර අවස්ථා රැසකදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් එකිනෙකා සමග වචන හුවමාරු සිදුකරගත් අතර, මැතිව්ස් 'ටයිම් අවුට්' ක්‍රමයට දවාගැනීමට බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ක්‍රියා කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපෑවේය. එම දැවී යාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිව්ස්,

“ඇත්තටම ඒක නින්දිත ක්‍රියාවක්. අපි හැමෝම ක්‍රීඩා කරන්නේ දිනන්න තමයි. නමුත් මම හිතන්නේ නෑ වෙන කණ්ඩායමක් හෝ ක්‍රීඩකයෙක් කඩුල්ලක් දවා ගන්න මේ වගේ තත්ත්වයකට වැටෙයි කියලා. මම  කිසිම වැරැද්දක් කළේ නෑ. මම හරි වෙලාවට පන්දුවට පහර දෙන්න සූදානම් වුණා.

ඒ වෙලාවේ මගේ හිස් ආවරණයේ ගැටලුවක් ආවා. මම කාලය නාස්ති කළේ හෝ ඒකෙන් වාසියක් ගන්න වැඩ කළේ නැහැ” යනුවෙන් පවසා සිටියේය.

මෙහිදී මැතිව්ස් තරගයේදී විනිසුරුවන්ගේ තීරණයද විවේචනයට ලක් කළේය.

"මම මිනිත්තු දෙක ඉවර වෙන්න තත්ත්පර පහකට කලින් මගේ සීමාවට ඇව්ත් පන්දුවට පහර දෙන්න සූදානම් වුණා. මගේ ළඟ වීඩියෝ සාක්ෂි  තියෙනවා. විනිසුරුවන් තීරණය දෙන්න කලින් අඩුම ගාණේ මේ ගැන බලන්න තිබුණා. මේක මන්කාඩ්වත් , පන්දු රකින්නාට බාධා කිරීමක් වගේ අවස්ථාවක් නෙවෙයි. ඇත්තටම අපි තමයි ක්‍රීඩාවේ තානාපතිවරු. අපට ගරු කරන උදවියට අපි ගරු කරනවා. අපි ශකීබ්ටත් මේ තරඟය වෙනකම්ම ගරු කළා” යනුවෙන් මැතිව්ස් අවසාන වශයෙන් පැවසීය.

ඕෂිත  වරකපිටිය (ඉන්දියාවේ දිල්ලි සිට)