anura-champika

ජාතික ජන බලවේගයේ  ජනපති අපේක්ෂක  අනුර කුමාර දිසානායක මහතා ලොස් ඇන්ජලීස් නුවර පැවත්වූ කතාවකදී එතුමා ග්‍රැෆීන් වෙනුවට ග්‍රැෆයිට් යන නාමය භාවිත කිරීම ඔහු අතින් සිදුවූ සුළු අතපසු වීමක් පමණක් බව කතාවෙ හරය සළකා බැලීමේ දී පැහැදිලි වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රණවක මහතා පෙන්වා දෙන්නේ මෙවන් අතපසුවීම් මහා බරපතල දේවල් ලෙස හුවා දක්වමින් දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කිරීම කිසිසේත්ම සුදුසු නොවන බව ය.

ග්‍රැෆයිට් ග්‍රැෆීන් බවට පත් කල විට අගය විශාල වශයෙන් වැඩිවන බව සත්‍ය වුවත් නිෂ්පාදනය කල හැකි ප්‍රමාණය කුඩා බැවින් එයින් රටේ ආදායම විශාල වශයෙන් වැඩි නොවන බවත්, වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මීට වඩා පුලුල් ව කල්පනා කළ යුතු බවත් රණවක මහතා පෙන්වා දෙයි.



"ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ කරපු සංචාරයකදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් හමුවෙලා කරපු සාකච්ඡාවක දී පළ කළ අදහසක් මත විවිධාකාරයේ මත පළවෙලා තියෙනවා. ඒ තමයි ඔහු කිව්වේ මිනිරන් ග්‍රැෆයිට් බවට පත් කරලා, ඒ සඳහා තියෙන විදුලි මෝටර් රථ ආදී ව්‍යාපාරවලට ඇතුලත් වෙන්න පුළුවන් ඒ සඳහා පියවර ගන්නවා. එතුමාගේ පාලනයක් යටතේ කියලා. දැන් මේක සම්බන්ධයෙන් සමහරු බොහොම උසුළු විසුළු සහගත විදිහට කටයුතු කරනවා. මොකද මිනිරන් වලට, ඉංග්‍රීසි වචනය ග්‍රැෆයිට් නිසා, මිනිරන් ග්‍රැෆයිට් කිරීමක් ගැන ඔහු ප්‍රකාශ කළා කියලා. ඔහුගේ ඉංග්‍රීසි දැනුම ප්‍රශ්න කරනවා. අපි ඉතාම පිළිකුලෙන් මේ කතාව ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ මිනිස්සුන්ගේ ඉංග්‍රීසි දැනුමට හිනාවෙන එක, මේ රටේ තියෙන පහත්ම පෙළේ ක්‍රියාවලියක්. මොකද ලෝකයේ බලගතු ‍රාජ්‍යයන් එක්ක අපිත් ගණුදෙනු කරලා තියෙනවා. ලෝකයේ බලගතු රාජ්‍යයන්, ජපානය, කොරියාව, ඊශ්‍රායලය පවා. බොහෝ දුරට තමන්ගේ මව් භාෂාව තමයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ ඒ දියුණු තත්වයන් වලට පත්වෙලා තියෙන්නේ. මේ ඉංග්‍රීසියේ තියෙන අනුහසකින් නෙවෙයි. ඒ වගේම අපේ රටේ සමහර නායකයෝ, ඒගොල්ලන්ගේ පවුලෙන් ලැබිච්ච ශක්තිය නිසා, කුඩා කල ඉඳන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගෙන, එහෙම නැත්නම් පවුලෙන් ලැබිච්ච ශක්තිය නිසා, විදේශ රටවල් වලට ගිහිල්ලා, විශේෂයෙන් බටහිර රටවල් වලට, එංගලන්තයට, ඇමරිකාවට ගිහිල්ලා, ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගෙන යම් යම් උපාධි ආදිය සමහරු ලබාගෙනත් තියෙනවා. සමහරු ලබාගෙනත් නැහැ.

ඉතින් ඒ නිසා මේ ගමෙන් පැමිණිච්ච මිනිස්සුන්ට හිනාවෙන ස්වභාවයක් ඇතිකරගෙන තියෙනවා. අපි ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි.

අනුර දිසානායක මහත්තයා කියපු කාරණය ගැන කිව්වොත් ඇත්තටම ලංකාවේ මිනිරන්, එහෙම නැත්නම් ග්‍රැෆයිට්, ග්‍රැෆින් බවට පත්කරගන්න පුළුවන් නම් විශාල ආදායමක් උපදවන්න පුළුවන් කියන එක ඇත්තක්. හැබැයි මේක මේ අලුත් කතාවක් එහෙම නෙවෙයි. මොකද අපි දන්නවා මීට අවුරුදු දහයකටත් කලින් තාක්ෂණ පර්යේෂණ ආයතනය, අයි ටී අයි එක, ඒ කාලයේ මම කාලයක් එම ආයතනය භාරව හිටපු ඇමතිවරයා හැටියට හිටියා. ඒ හිටපු අපේ ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් කෝට්ටේගොඩ මැතිණිය. එතුමිය යම්කිසි ආකාරයකට මේ ග්‍රැෆයිට්, ග්‍රැෆින් බවට පත්කරන තාක්ෂණය දියුණු කළා. ඒ වගේම ඊට පස්සේ, අපි විසින් තාක්ෂණ නගරය නමින්, විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කළා හෝමාගම. එහි, ඊට කලින් ඉඳන් ස්ථාපිත කරලා තිබුණා ස්ලින්ටෙක් නමින් වෙච්ච නැනෝ තාක්ෂණ ආයතනය. ඒකට ඇත්තටම මුල් උනේ තිස්ස විතාරණ මහත්මයා. ඒකත් ගෞරවයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. එම ආයතනය අපි පුළුල් කිරීමක් කළා, පුළුල් කිරීමක් කළා විතරක් නෙවෙයි, මේ රටේ මේ ඛණිජ ද්‍රව්‍ය, ටයිටේනියම්, ඒ වගේම මිනිරන් වැනි දෑ අපිට පුළුවන්ද අගය එකතු කිරීමක් කරලා, එහෙම නැත්නම් මේ වැලිව් චේන් එක, ඒක මාර්කට් චේන් එක නෙවෙයි, අනුර දිසානායක මහත්තයා කියනවා වගේ, වැලිව් චේන් එකට එකතු කරන්න පුලුවන්ද කියන කාරණය ගැන වගකීමකින් යුතුව කටයුතු කළා.

මේ මෑතදී හොරණ ප්‍රදේශයේ අනතුරකට ලක්වෙලා මිය ගිය විද්‍යාඥවරයත් ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පුද්ගලික අංශයේ ව්‍යාපාරයක් වන එල් අයි ඕ සී මේ සම්බන්ධයෙන් ක්‍රියා කළා. මොකද ඒ ආයතනය ගොඩනගලා තිබුනෙම අපි පුද්ගලික අංශය හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධතාවයකින් යුතුව. යම්කිසි ආකාරයක පර්යේෂණාත්මක සාර්ථකත්වයකුත්, වාණිජ සාර්ථකත්වයකුත් මේ වන විට ලබාගෙන තියෙනවා. ඒ අනුව මේ ග්‍රැෆයිට් කිලෝවකට, එහෙම නැත්නම් මිනිරන් කිලෝවකට ලැබෙන මුදල වගේ විශාල පරිමාණයේ ගුණයක්. සමහරවිට සිය ගුණයකට ආසන්න ප්‍රමාණයක  අගය එකතු කිරීමක් එම ආයතනය මගින් සිදු කරලා තියනවයි කියලා වාර්තා වෙලා තියෙනවා.

ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් මේ රට පැත්තෙන්. රටේම තාක්ෂණය, රටේම විද්‍යාඥවරු විශේෂයෙන්ම අපි දන්නවා එහි ඉන්න පර්යේෂකයෝ, මංජු ගුණවර්ධන වැනි අය මැදිහත් වෙලා. එල් අයි ඕ සී වැනි දේශීය ආයතනයක හයියෙන් ඒ අගය දාමයන්ට රට එකතු වීම ඉතාමත්ම විශිෂ්ට දෙයක්. ඉතින් ලංකාවේ මිනිරන් තමයි ලෝකයේ තියෙන ඒ පැත්තෙන් ගත්තොත් පිරිසිදුම මිනිරන්. ග්‍රැෆින් කියන්නේ ලෝකයේ දැනට ශක්තිමත්ම ලෝහයක්. ඒ වගේම මේ විදුලි පරිපථ, විදුලි මෝටර් රථ වැනි දැයට විශාල වශයෙන් යොදාගත හැකි දෙයක්. ඉතින් මේක ලොකු දෙයක්. හැබැයි මේක අපි පුළුල් කල යුතුයි. ඉදිරියට යා යුතුයි. ඒ නිසා මේක මේ මහා නව සොයාගැනීමක් නෙවෙයි. ලංකාව තුල අපේ විද්‍යාඥවරියන්, විද්‍යාඥයන්, ඒ වගේම නව නිපැයුම් කරුවන් මම හිතන්නේ වසර දහයකටත් අධික කාලයක් තිස්සේ කටයුතු කරලා, සාර්ථක කරගත්ත දෙයක්. ඇත්තටම අපේ තාක්ෂණ නගර ව්‍යාපෘතිය තිබුණා නම් අද ඒක ගෝඨාභය රාජපක්ෂ කියන්න ඕන කණගාටුවෙන් බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන ඇතුළු මේ කොළඹ දිස්ත්‍රික්කයේ ආපු සියලු දෙනාගේම අනුහසින් ඒ ව්‍යාපෘතිය නැවැත්තුවා. තනිකරම ඊර්ෂ්‍යා සහගත ක්‍රියාවලියක්  මගින්. ඒ ක්‍රියාවලිය  තිබුණා නම්, මේ ග්‍රැෆයිර්, ග්‍රැෆින් කරනවා වගේ නෙවෙයි. තවත් මේ වෙනකොට ව්‍යාපාර දස දහස් ගාණක් ඇවිල්ලා ලංකාවේ විශාල පිම්මක්, තාක්ෂණික පිම්මක් අපිට පනින්න හැකියාව ලැබෙනවා. අපේ ඉලක්කය තිබුණේ ඩොලර් බිලියන පහක තාක්ෂණ ආර්ථිකයක් ගොඩනගන්න. ඒ ඉලක්ක යන්න අපිට පුළුවන්කම ලැබෙනවා. හෝමාගම පමණක් නෙමෙයි මාතර, ඒ වගේම පේරාදෙණිය, ඒ වගේම කිලිනොච්චියේ තාක්ෂණ නගර හතරක් මගින් මේ ක්‍රියාවලිය කිරීම තමයි අපේ අධිෂ්ඨානය වුණේ. කෙසේ නමුත් මේ රටේ අර පිරිසකට ඕන වුණා, වියත්තු කියන පිරිසකට, උගත්තු කියන පිරිසකට හා තාක්ෂණය භාගෙට හදාරපු පිරිසකට, ඔරැකල් ආකාරයේ පිමි පනින්න ඕන වෙලා, වැඩකරන විරුවෙක් කියලා ගෙනල්ලා ඒ සියල්ල ආපසු හැරෙව්වා. නමුත් අපි බොහොම පැහැදිලිව කියනවා මේ ගැන අපි අවුරුදු දහයකට කලින් මේ රට මේ ඉදිරි පිම්ම පනින්න පුළුවන් විදිහේ තාක්ෂණ සැලසුමක් දස අවුරුදු සැලසුමක් අපේ තාක්ෂණ අමාත්‍යාංශය 2013 අපි ඉදිරිපත් කළා. ඒ සැලසුමේ යම් යම් වෙනස්කම් ඇතිව ඉදිරි කාලයේදී මේ රට ඩොලර් බිලියන පහක තාක්ෂණ සේවා සපයන රටක් බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙලක් වැඩසටහනක් අපට තියෙනවා. ඒක අපි ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා"