arjuna-speaks

අභියාචනාධිකරණය ඊයේ (17) පෙරවරුවේ දී ක්‍රිකට් අතුරු කමිටුවට පැනවූ වාරණයත් සමග මෙට්ලන්ඩ් පෙදෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මුලස්ථානයෙන් පිටව රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා පැවසුවේ තමන් මෙම සිදුවීමෙන් දැඩි ලෙස කළකිරුණු බවයි.

පෙරේදා (6) ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ අර්ජුන රණතුංග මහතාගේ සහභාගීත්වයෙන් යුත් සත් පුද්ගල කමිටුවේ ක්‍රියාකාරීත්වය ඉදිරි සති දෙකක කාලයකට අත්හිටුවමින් අභියාචනාධිකරණය

ඊයේ තීන්දුවක් ලබාදුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි. එහිදී පෙත්සම්කරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විනිසුරු මඬුල්ල විසින් ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර සිටියේය.

අභියාචනාධිකරණයේ තීන්දුව ප්‍රකාශවීමෙන් පසුව රිඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශය වෙත ඊයේ දහවල් පැමිණි අර්ජුන රණතුංග මහතා එහිදී ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මුණගැසුණි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රණතුංග මහතා පැවසුවේ රටේ කඩා වැටුණු ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට තමා දරන වෑයම අසාර්ථකවීමට කරුණු යෙදීම ගැන දැඩි ලෙස කළකිරුණු බවයි.

“රටේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙවියන්ගේම පිහිටයි“

“හොරු බලවත් වෙලා. රටේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ල වෙලා.

මේක කුමන්ත්‍රණයක්, ඉදිරියේ දී තොරතුරු හෙළි කරන්න සූදානම්" යයිද එහිදී රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදි රණතුංග මහතා මෙසේ ද පැවසීය.

“මේ පත්වීම ලැබුණු අවස්ථාවේ ඉඳලා, දේශපාලනය අත්හැරලා රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න කටයුතු කරන්නයි මම සූදානම් වෙලා හිටියේ. නමුත් මම අද ඒ තීරණය වෙනස් කර ගත්තා. අලුත් බලවේගයක් එක්ක ඉදිරියේදී මම දේශපාලනය කරනවා. ඒ රටේ ක්‍රිකට් ක්‍රීඩාව හදන්නයි''

“මේ ක්‍රමයටම ගියොත් අපේ රටේ තරුණයන්ට ක්‍රිකට් ක්‍රීඩාවක් ඉතිරි වෙන්නේ නෑ. මේ කුමන්ත්‍රණ පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුවේ නැති දේශපාලනඥයෙකුත් මෙම සිදුවීම් ක්‍රියාදාමයට සම්බන්ධයි“

“මම අතුරු කමිටුවේ සභාපති වෙලා කිව්වේ ක්‍රිකට් ආයතනයේ වත්කම් හා බැරකම් ගැන විමර්ශනයක් කරනවා කියලා. මේකට බයවුණු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් දැන් මේ සිදුවෙමින් තිබෙන ක්‍රියාදාමය පිටුපස ඉන්න බව හොඳාකාරවම පේනවා” යයි ද අර්ජුන රණතුංග මහතා පැවසීය.

- නාමල් පතිරගේ