army-giveup-27000

යුද හමුදාවේ 27000 ක් පසුගිය වසර දෙකේදී සේවය අතහැර ගොස් ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 23 දා පැවසීය.මෙතන කුමක් හෝ ගැටලුවක් ඇති හෙයින් එම ගැටලුව වහා ආමන්ත්‍රණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය. යුද්ධ කාලයේදීවත් මෙවැනි තත්වයක් නොතිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද මන්ත්‍රීවරයා කීවේය.

අලහප්පෙරුම මහතා මෙසේ පැවසුවේ ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේදීය.ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.

දේශපාලඥයන් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ ආයතනයක් තමයි පොලිසිය. යුද හමුදාවේ දෙවැනියා දින හතළිහක් තිස්සේ නැහැ. යුද හමුදා ඉතිහාසයේ පළමුවතාවට සිද්ධවෙච්ච දෙයක්. එහෙම ප්‍රමාදයක් ඇති වුණේ ඇයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හමුදාව ඇතුළේ ගැටලුවක් මතුවෙලා තියෙනවා.මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් තියෙනවා. අවිශ්වාසයක් මතුවෙලා. රටේ මාසයකට මනුෂ්‍ය ඝාතන 50ක් සිද්ධ වෙනවා. පැය දාහතරකට එක ඝාතනයක්. සමහර මාසවල ඝාතන හැට ගණන් සිද්ධවෙලා යැයිද ඔහු කීවේය.

අංජුල මහික වීරරත්න