athurugiriya-incident

දිවා කාලයේ වසා තිබෙන නිවාසවලට සොරෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ පනහකට වැඩි වටිනාකමින් යුත් රත්‍රං භාණ්ඩ ඉස්සූ හමුදාවේ හිටපු සෙබළෙකු රන්බඩු එක්ක අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයකු පිළිබඳව අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාට ලද තොරතුරක් මත හබරකඩ සමුපකාර මාවත බෝධිරාජ පෙදෙසේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම නිවාස බිඳීම් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.



අතුරුගිරිය, මීගොඩ, මාලබේ, හෝමාගම, කිරිබත්ගොඩ පොලිස් වසම්වල නිවාස 11 කින් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇත.

සැකකරු සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් දහයෙන් නවයක් සමත්ව උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබුවද නිවසේ තිබූ ආර්ථික අපහසුතා නිසාවෙන් උසස් පෙළ විභාගයට මුහුණ නොදී යුද හමුදා සේවයට එක්ව ඇති බවත් යුද හමුදාවට එක්වීමට පෙර ද නිවාසවලට සොරෙන් ඇතුළු වී ආහාරපාන සොරා ගැනීමට පුරුදුව සිට ඇතැයිද අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විද්‍යාල මාවත ඔරු වල, අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි තැනැත්තෙකි. ඔහු යුද හමුදාවෙන් පලා ගොස් පෙදරේරුවකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.



සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය කීය.

අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල්, පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ, සැරයන්වරුන් වන 36709 සුකුමාරන්, 38307 ජයසුන්දර, පොලිස් කොස්තාපල්වරුන් වන 84898 හර්ෂ, 928 සුසන්ත, 23687 එරන්ද, 92523 ප්‍රියංකර, 96923 බණ්ඩාර යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

 කඩුවෙල කේ. බුද්ධික කුමාරසිරි