attanagalle-court-incident

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ දී නීතිඥවරයකුට අතින් පයින් පහර දී තුවාල සිදුකොට ඇති බව කියන සැකකාරියන් දෙදෙනකු මෙම 15 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (01) නියෝග කළේය. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි දුන්දරවීර ආරච්චිගේ නිරංජලා සරෝජනී හා විදාන ගමගේ දිල්කි ලක්ෂිකා යන දෙදෙනා එසේ රිමාන්ඩ් ගත කරනු ලැබූහ.අත්තනගල්ල අධිකරණ සංකීර්ණයේ පිවිසුම් මාර්ගය ආසන්නයේ පිහිටා ඇති පෞද්ගලික නීතිඥ කාර්යාල සංකීර්ණය අසල දී පෙරේදා (31) පස්වරුවේ නීතිඥ සුජීව හතුරුසිංහ මහතාට අතින් පයින් පහර දී තුවාල සිදුකොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකාරියෝ දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

නිට්ටඹුව පොලිසියේ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.ඇල්. රවීන්ද්‍ර මහතා කරුණු දක්වමින් නීතිඥ සුජීව හතුරුසිංහමහතාට සැකකාරියන් දෙදෙනා අමානුෂික ලෙස අතින් පයින් පහර දී ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි කියා සිටියේය.තුවාල ලබා ඇති නීතිඥවරයා මේ වන විට වතුපිටිවල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කීය.



මෙහිදී මහේස්ත්‍රාත්වරයා කළ විමසීමකදී නිරංජලා සරෝජනී නමැති සැකකාරිය කරුණු දක්වමින් තමන් දෙදෙනා තිස්සමහාරාමයේ සිට පැමිණි බවත් අතේ තිබුණු රුපියල් හයදහස් ගණනකින් රුපියල් පන්දහසක මුදලක් සැකකරුවකුට ඇප ලබා ගැනීම සඳහා දුන් නමුත් ඇප ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම මුදල් ආපසු ලබා දෙන ලෙසට ඉල්ලා සිටි අවස්ථාවේදී බහින් බස් වීමක් සිදු වුණා විනා පහර දීමක් සිදු නොකළ බව කියා සිටියාය.ආපසු යාමටත් ප්‍රමාණවත් මුදලක් නොමැති වීම හේතුවෙන් එසේ මුදල් ආපසු ඉල්ලා සිටි බව ද සැකකාරිය කියා සිටියාය.

මහේස්ත්‍රාත්වරයා:- හොඳයි ඇප ලබා නොගත් නිසා ආපසු යාමට මුදල් නොමැති වීම නිසා ආපසු මුදල් ඉල්ලා සිටි බව ප්‍රකාශ කළා. ඇප ලැබුණා නම් කොහොමද ආපසු යන්නේ? සැකකාරියන් දෙදෙනා නිහඬයි. මෙහිදී නීතිඥ රුක්මන් සිල්වා මහතා කරුණු දක්වමින්, පහර දුන්නේ නැති බව කීම සම්පූර්ණයෙන්ම  අසත්‍යයක්.



ඉතාමත්ම පහත් ආකාරයෙන් පහර දීම සිදු කළ බවත් එම පහර දීම් හේතුවෙන් නීතිඥවරයා බිම ඇද වැටුණු බවත් ඔහුට පහර දීම් හේතුවෙන් තුවාල සිදු වී ඇති බවත් කියා සිටියේය. එම අවස්ථාවේ නීතිඥ මහත්ම මහත්මීන් එම ස්ථානයට නොගියා නම් ශෝචනීය තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබූ බව ද නීතිඥවරයා කීය.දෙපාර්ශ්වයේ කරණු දැන්වීම් වලින් අනතුරුව එසේ සැකකාරියන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කළේය. නැවත කැඳවීම මෙම 15 වැනිදාට කල් තැබිණ. සැකකාරියන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී නොසිටි අතර තුවාලකාර නීතිඥවරයා වෙනුවෙන් අත්තනගල්ල අධිකරණ සංගමයේ සියලුම නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

  ආනන්ද ඉ. ජයකොඩි