australia-world-cup-behind-woman

සෑම සාර්ථක මිනි­සකු පිටු­ප­සම සාර්ථක ගැහැ­නි­යක සිටින බවට වන කිය­ම­නක් තිබේ. එහෙත් පසු­ගි­යදා ඉන්දි­යා­වේදී නිමා­වට පත් වූ එක්දින ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී හය­වැනි වර­ටත් කුස­ලා­නය දිනා ගැනී­මත් සමඟ ඔස්ට්‍රේ­ලි­යා­නු­වන් එය සෑම මිනි­සකු පිටු­පස පම­ණක් නොව සෑම මිනිස් කණ්ඩා­ය­මක් පිටු­ප­සම සාර්ථක ගැහැ­නි­යක සිටින බවට වෙනස් කර තිබේ. කෝටි 142ක ඉන්දීය ජන­තා­වගේ බලා­පො­රොත්තු අහ­ම­දා­බාද් නග­රයේ කළු­වර අහසේ බොඳ කර දැමී­මට ඔස්ට්‍රේ­ලි­යා­නු­වන්ට පසු­බිම සකස් කර දෙනු ලැබුවේ එවැනි ගැහැ­නි­යකි. ඔස්ට්‍රේ­ලි­යා­නු­වන්ගේ විශිෂ්ට ක්‍රීඩා දස්ක­ම්ව­ලට වඩා වැඩි­පුර කතා­බ­හට ලක් වූයේ ද ඒ කාර­ණා­ව­මය.

ඉන් කියැ­වෙන්නේ ආසි­යා­තික උප­ම­හා­ද්වී­පයේ විශා­ල­තම රාජ්‍යයේ දෙවි­ව­රුන්ට පම­ණක් දෙවැනි කොට සල­කන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ගේ අප­රා­ජිත ලෝක කුස­ලාන ගමන එක් රැය­කින් ආපසු හැර­වී­මට ඔස්ට්‍රේ­ලි­යා­නු­වන් සමත් වී ඇත්තේ ඔවුන්ගේ ක්‍රීඩා දස්ක­ම්ව­ලින් පම­ණක් නොවන බවය. ඉන්දි­යාවේ රඳවා ගැනී­මට උත්සාහ කළ ලෝක කුස­ලා­නය ඔස්ට්‍රේ­ලි­යා­වට රැගෙන යෑමට අවශ්‍ය වට­පි­ටාව සකස් කර­ගැ­නී­මට ඔවුන්ට සහාය වී ඇත්තේ ඉන්දි­යා­වේම කාන්තා­වක් බව දැන් හෙළි වී තිබේ.

ඉන්දි­යාවේ කර්ණා­ටක ප්‍රාන්තයේ මැංග­ලෝර් නග­රයේ පර­පු­ර­කට අයත් උර්මිලා රොසා­යිරෝ නමැති මේ 34 හැවි­රිදි දිරිය සම්පන්න හා නැණ­වත් කාන්තාව මෙවර ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී කණ්ඩා­යමේ කළ­ම­නා­කා­රි­නිය ලෙස බඳවා ගැනී­මට ඔස්ට්‍රේ­ලියා ක්‍රිකට් ආය­ත­නය පිය­වර ගෙන ඇත්තේ ලෝක කුස­ලා­නය අතට ගැනී­මට ඇයට කළ හැකි රාජ­කා­රිය ගැන පැහැ­දිලි අව­බෝ­ධ­ය­කින් යුතු­වය. දෝහා කටාර් රාජ්‍යයේ උපත ලැබුව ද මේ හුරු­බු­හුටි කාන්තා­වගේ මාපි­යන් මැංග­ලෝර් පර­පු­ර­කින් පැවත එන බැවින් ඇය ඉන්දි­යාවේ අස්සක් මුල්ලක් නෑර හොඳින් දැන සිටි­යාය. හින්දි, කන්නඩා හා කොන්කානි වැනි ඉන්දි­යා­වට ආවේ­ණික භාෂා ත්‍රිත්ව­යක්ම චතුර ලෙස කතා කළ හැකි උර්මිලා අව­සන් මහා තර­ගය දක්වා ඔස්ට්‍රේ­ලි­යානු පිලට අති­ශය වැද­ගත් වූ ඉන්දි­යාවේ ආග­න්තුක තණ­තීරු සම්බ­න්ධව තොර­තුරු රැසක් සොයා ගත් බව වාර්තා වේ. ‘ගමේ භාෂා­වෙන්ම‘ තණ­තීරු සකස් කරන සේව­ක­යන් සමඟ කතා­බහ කිරි­මට හැකි­යාව ඇති මේ කාන්තාව සැබැ­වින්ම ඔස්ට්‍රේ­ලි­යා­නු­වන්ගේ ජය­ග්‍ර­හ­ණයේ තීර­ණා­ත්මක පංගු­කා­රි­නිය බව දැන් පැහැ­දි­ලිය.



උර්මිලා ඒ වන විට ඔස්ට්‍රේ­ලි­යානු කාන්තා පිලේ කළ­ම­නා­කා­රි­නිය ලෙස කට­යුතු කර තිබීම නිසා ඇය ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට එක් කර­ගැ­නී­මට ඔස්ට්‍රේ­ලි­යානු පිලට පහසු විය. ඇරත් ඒ වන­විට ඇය පදිං­චිව සිටියේ ද ඔස්ට්‍රේ­ලි­යාවේ බැවින් විශ්වා­ස­නී­ය­ත්ව­යත් ඉහ­ළින්ම තිබිණි. ක්‍රීඩා කළ­ම­නා­කාර උපා­ධි­ය­කට හිමි­කම් කියන බැවින් ඇගේ සුදු­සු­කම් මේ රාජ­කා­රි­යට හොඳ­ටෝම ප්‍රමා­ණ­වත් වී තිබිණි. ඉන්දීය භූමියේ දිග පළල හොඳින් දැන සිටි විශ්වා­ස­නීය තොර­තුරු රැසක් සොයා ගත හැකි ඉන්දීය පුද්ග­ල­ය­කුට ඔස්ට්‍රේ­ලි­යා­නු­වන්ට උර්මිලා තරම් සුදු­සු­කම් ඇති තවත් කෙනකු නොවීය.

ලිපි ලේඛන කට­යු­තු­ව­ලට අම­ත­රව කණ්ඩා­යමේ කළ­ම­නා­කා­රිය ලෙස ඇගේ රාජ­කා­රි­යට අයත් කට­යුතු රැසකි. ඔස්ට්‍රේ­ලි­යා­නු­වන්ට ඉන්දි­යාවේ නවා­තැන් ගැනී­මේදි, ආහා­ර­පාන තෝරා බේරා ගැනී­මේදී සහ ගමන් බිමන් යෑමේදී අවශ්‍ය උප­දෙස් ලබා ගැනීමේ පහ­සුව ඉන්දීය සම්භ­ව­යක් සහිත පුද්ග­ල­යකු කළ­ම­නා­කරු ලෙස බඳවා ගැනී­මෙන් නොඅ­ඩුව ලැබෙන බව බැලූ බැල්මට පෙනේ. එහෙත් ඒවා අවශ්‍ය වන්නේ කුස­ලා­න­යක ජය­ග්‍ර­හ­ණ­ය­කට නොව කණ්ඩා­ය­මක පහ­සුව සඳහා පමණි. එසේ නම් උර්මි­ලාගේ දාය­ක­ත්වය ලෝක කුස­ලාන ජය­ග්‍ර­හ­ණ­යට වාසි­දා­යක වූයේ කෙසේ­දැයි යන්න විමසා බැලීම වටී.

පළ­මුව කිව යුත්තේ ඔස්ට්‍රේ­ලි­යා­නු­වන්ගේ ජය­ග්‍ර­හ­ණය එක් රැය­කින් තීර­ණය වූව ද, එය මාස කිහි­ප­යක් පුරා සිදු කළ මෙහෙ­යු­මක ප්‍රති­ඵ­ල­යක් බවය. අනික් අතට ලෝක කුස­ලා­නය වැනි තීර­ණා­ත්මක තර­ගා­ව­ලි­යක් ඉන්දි­යාවේ පැවැ­ත්වෙද්දී ඒ බළකො­ටු­වට රිංගා කුස­ලා­නය උදුරා ගැනීම අති­දු­ෂ්කර මෙහෙ­යු­මක් බව අමු­තු­වෙන් කිව යුතු ද නැත. භූමියේ වාසිය, ක්‍රීඩා­ලෝ­ලීන්ගේ සහාය, දඟ­ප­න්දු­වට සුදුසු තණ­තීරු වැනි සාධක රැස­කින් පෝෂ­ණය වී සිටි ඉන්දීය පිල තර­ගා­ව­ලියේ ආර­ම්භයේ සිටම දැක්වූ පෙර­ළි­කාර දස්කම් කවු­රුත් දනී. එවැනි පසු­බි­ම­කදී ලෝක කුස­ලා­නය ජය­ගැ­නීම ආග­න්තුක කණ්ඩා­ය­ම­කට ලෙහෙසි පහසු කාර්ය­යක් නොවනු ඇත.

විශා­ල­තම අභි­යෝ­ගය තණ තීරු­වල හැසි­රී­මය. කවුරු කෙසේ කීවත් ඒවා සකස් කෙරෙන්නේ සත්කා­රක රටේ කණ්ඩා­ය­මට වාසි­දා­යක විදි­හ­ටය. ප්‍රධා­නීන්ගෙන් ලැබෙන උප­දෙස් පරිදි තණ තීරු සකස් කරනු ලබන්නේ ක්‍රීඩාං­ග­ණයේ සේවය කරන සුළු සේව­ක­යන්ගේ දෑතිනි. තර­ග­යට පෙර තණ තීරුව පරීක්ෂා කිරී­මට වඩා ඔවුන් සමඟ කතා­බහ කිරී­මෙන් ලබා ගත හැකි තොර­තුරු රැසකි. සුළු සේව­ක­ය­න්ගෙන් බහු­ත­ර­ය­ක­ටම ඉංග්‍රීසි බැරිය. කණ්ඩා­යමේ කළ­ම­නා­කා­රී­ත්ව­යෙන් ඔබ්බට ගිය උර්මි­ලාගේ රාජ­කා­රියේ ස්වභා­වය ගැනත්, ඔස්ට්‍රේ­ලි­යානු පිලේ ජය­ග්‍ර­හ­ණය ගැනත් අව­බෝධ කර­ගැ­නී­මට ඒ ටික හොඳ­ටෝම ප්‍රමා­ණ­වත් ය.

අනික් අතට ඇය ඊට පෙර ඔස්ට්‍රේ­ලි­යානු කාන්තා ක්‍රිකට් පිල ඉන්දි­යාවේ සංචා­රය කරද්දී කණ්ඩා­යමේ කළ­ම­නා­කා­රි­නිය ලෙස කට­යුතු කර­මින් මේ හා සමාන රාජ­කා­රි­යක් ඉටු කර­මින් සිය කණ්ඩා­යමේ ජය­ග්‍ර­හ­ණ­යට විශාල දාය­ක­ත්ව­යක් ලබා දී තිබිණි. මෙවර ලෝක කුස­ලා­නය අත්කර ගැනී­මට උර්මි­ලාගේ දාය­ක­ත්වය කෙත­රම් වටි­න්නේ­දැයි අව­බෝධ කර­ගැ­නී­ම­ටත් එරට ක්‍රිකට් පරි­පා­ල­න­යට එය කදිම නිද­සු­නක් වී තිබිණි.

කිසිදු අප­හ­සු­තා­ව­කින් තොරව ඔස්ට්‍රේ­ලි­යානු කණ්ඩා­ය­මට අවශ්‍ය සියලු ආකා­රයේ සහ­යෝ­ගය කණ්ඩා­යමේ කළ­ම­නා­කා­රි­නිය ලෙස උර්මි­ලා­ගෙන් නොඅ­ඩුව ඉටු වී තිබේ. ඇගේ මාපි­යන් වන අයිවි සහ වැල­න්ට­යින් මැංග­ලෝර් නුවර සම්ප්‍ර­දා­යික පර­පු­රක කොටස් කරුවෝ වෙති.



සාමා­න්‍ය­යෙන් මැංග­ලෝර් ලොව පුරා ප්‍රකට වී ඇත්තේ අති­ශ­යින්ම සුන්දර වෙරළ තීර­යක් ඇති සංචා­රක ගම­නා­න්ත­යක් ලෙස­ටය. එහෙත් එහි ඇති සුන්ද­ර­ත්වය නග­ර­යට හෝ වෙරළ තීර­යට පම­ණක් සීමා වූවක් නොවේ. එහි උපත ලැබූ පුද්ග­ල­යන් නැණ­වත් බවින්ද හැඩ­යෙන් ද පිරි­පුන් වූවෝ වෙති. එහි කාන්තා­වන් ද අති­ශය සුන්ද­රය. විශ්ව රූ රැජන කිරුළ දිනූ අයි­ෂ්වර්යා රායිගේ සිට ලොව පුරා පිරි­මින්ගේ සිත් වසඟ කළ දීපිකා පදු­කෝන් දක්වා බොලි­වුඩ් සින­මාව ආක්‍ර­ම­ණය කළ නිළි­යන් බිහි වූයේ ද මැංග­ලෝ­ර්ව­ලිනි. කොටින්ම බොලි­වුඩ් සින­මාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ද අවු­රුදු 5ක් වන­තුරු හැදී වැඩුණේ මේ කියන සුන්දර නග­ර­යේය. සුනිල් ශෙට්ටි වැනි බොලි­වුඩ් සින­මාව ජය­ගත් නළු­වන් ද, සංජේ මංජේ­කර් වැනි ක්‍රිකට් පිටිය ජය­ගත් ක්‍රීඩ­ක­යන් ද බිහි වූයේ මැංග­ලෝර් නුව­රිනි. උර්මිලා කටාර් රාජ්‍යයේ උපන්නේ ඇගේ මවු­පි­යන් එහි රැකි­යාවේ නිර­තව සිටි බැවිනි.

උර්මි­ලාගේ මවු­පි­යන් කටාර් රාජ්‍ය­යට සේන්දු වූයේ හැත්තෑව දශ­කයේ අග­භා­ග­යේ­දීය. පියා වැල­න්ට­යින් එරට ප්‍රකට මූල්‍ය සමා­ග­මක මූල්‍ය විධා­යක නිල­ධා­රි­යකු ලෙස සේවය කළ අතර, මව අයිවි එහි පාසල් ගුරු­ව­රි­යක ලෙස රැකි­යාවේ නිර­තව සිටි­යාය. දශක 4කට ආසන්න කාල­ය­කට පසු උපන් බිම වන මැංග­ලෝර් වෙත නැවත පැමිණ ඔවුහු කෝපි වත්තක් මිල දී ගෙන එහි කට­යුතු කර­මින් සිය සැඳෑ කාලය ගත කර­මින් සිටිති.

රොසා­යිරෝ පවුලේ වැඩි­මලා ඩේවිඩ් විකාස් වෛද්‍ය­ව­ර­යෙකි. විවාහ වීමෙන් පසු ඔවුන් දැන් පදිං­චිව සිටින්නේ එංග­ල­න්තයේය. දෙවැ­නියා රෝස් අයි­ස්වරීය. ඇය ද වෘත්ති­යෙන් වෛද්‍ය­ව­රි­යකි. ඇය ද විවාහ වීමෙන් පසු ස්කොට්ල­න්තයේ පදිං­චිව සිටි­න්නීය. තුන්වැන්නා උඩේ රොසා­යිරෝය. ඔහු කටාර් රාජ්‍යයේ විශ්ව­වි­ද්‍යා­ල­යක කථි­කා­චා­ර්ය­ව­ර­යෙකි. උර්මිලා බඩ­පිස්සිය. ව්‍යාපාර පරි­පා­ලන උපා­ධි­ධා­රි­නි­යක වන උර්මිලා ළමා වියේදී නොම්මර එකේ ටෙනිස් ක්‍රීඩි­කා­වකි. ඔරු පැදීමේ ක්‍රීඩා­ව­ටත්, බාස්කට් බෝල් ක්‍රීඩා­ව­ටත් එක සේ දස්කම් පෑවත් එව­කට කටාර් රාජ්‍යයේ ඇය තරම් හප­න්කම් ඇති ටෙනිස් ක්‍රීඩි­කාව සිටි­යේම නැත. එහෙත් විවිධ ආබා­ධ­ව­ලට ගොදුරු වීම නිසා කල් යත්ම ඇය ටෙනිස් ක්‍රීඩා­වෙන් ඈත් වී වැඩි­දු­රට අධ්‍යා­ප­න­යට යොමු වූවාය.

ඇගේ ජීවි­තය වර්ණ­වත් වීමට අඩි­තා­ලම වැටුණේ ක්‍රීඩා කළ­ම­නා­කාර උපා­ධිය හැදැ­රී­මත් සම­ඟය. මීට වසර 7කට පමණ පෙර සිය මවු­පි­යන් සමඟ නැවත මැංග­ලෝර් වෙත පැමි­ණී­මෙන් පසු මුලින්ම ඇය භූපති ටෙනිස් ගම්මා­න­යට එක් වූවාය. එය පවත්වා ගෙන ගියේ ඩේවිස් කුස­ලාන ජාත්‍ය­න්තර ටෙනිස් පිටියේ දස්කම් පෑ ඉන්දි­යාවේ හිටපු ටෙනිස් ක්‍රීඩ­ක­යකු සහ පුහු­ණු­ක­රු­වකු වූ ක්‍රිෂ්ණ භූපතිය. වෘත්තීය මට්ටමේ ටෙනිස් ක්‍රීඩි­කා­වක ලෙස නැඟී සිටී­මට නොහැකි වූ ඇයට ක්‍රීඩා කළ­ම­නා­ක­රණ උපා­ධි­යට යොමු වන ලෙස උප­දෙස් සප­යනු ලැබුවේ ක්‍රිෂ්ණ භූපති විසිනි. උපා­ධිය සම්පූර්ණ කිරී­මෙන් පසු ඇයට කටාර් ටෙනිස් සම්මේ­ල­නයේ රැකි­යා­වක් ලැබුණු අතර, වසර තුනක සේවා ගිවි­සු­ම­කට අනුව ඇය යළි කටාර් දේශය බලා පිටත්ව ගියාය.

එම කාල­සී­මා­වෙන් පසු ඇය ඔස්ට්‍රේ­ලි­යා­වට සේන්දු වූයේ එරට ටෙනිස් ඇක­ඩ­මි­යක රැකි­යා­වක් සොයා ගැනීමේ අර­මුණ ඇති­වය. එහෙත් ඇගේ ඉර­ණම තීන්දු වී තිබුණේ ටෙනිස් පිටියේ නොව ක්‍රිකට් පිටියේ ය. ඇඩි­ලේඩ් ක්‍රිකට් සමා­ජයේ කළ­ම­නා­කා­රි­නිය ලෙස ඇයට රැකි­යාව ලැබී­මත් සමඟ ඇගේ අනා­ග­තය තීන්දු විය.

ඇගේ පියා කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන මෙලෝ හස­රක් නොදත්, ඒ ගැන කිසිදු ඇල්මක් නොදැක් වූ උර්මිලා ඇඩි­ලේඩ් ක්‍රිකට් සමා­ජයේ රැකි­යාව ලැබී­මෙන් විම­ති­යට පත් වූ බවය. එය ඇගේ සින­හ­වට කාර­ණා­වක් වූ බවය. ඇය ඊටත් වඩා පුදු­ම­යට පත් වූයේ පසු­කා­ලී­නව ඔස්ට්‍රේ­ලියා ක්‍රිකට් ආය­ත­නය ඇය එරට ජාතික කාන්තා ක්‍රිකට් පිලේ කළ­ම­නා­කා­රි­නිය ලෙස තෝරා ගැනී­මය. ඔස්ට්‍රේ­ලි­යානු ජාති­ක­යකු නොවන, එව­කට ඉන්දීය ගුව­න්ග­මන් බල­ප­ත්‍ර­යක් සහිත උර්මිලා එවැනි රාජ­කා­රි­ය­කට ඔස්ට්‍රේ­ලි­යානු ජාතික කණ්ඩා­ය­ම­කට බඳවා ගැනීම සැබැ­වින්ම පුදු­ම­යට කරු­ණක් බව ඇගේ පියා සඳ­හන් කළේය.



පසු­ගිය වසරේ අග­භා­ග­යේදී ඇයට කටාර් රාජ්‍යයේ පැවැති ලෝක පාපන්දු කුස­ලාන තර­ගා­ව­ලියේ ක්‍රීඩාං­ගණ කළ­ම­නා­කා­රි­නි­යක ලෙස මාස 4ක කොන්ත්‍රාත් ගිවි­සු­මක් ලැබී තිබූ අතර, ඔස්ට්‍රේ­ලියා ක්‍රිකට් ආය­ත­න­යෙන් නිවාඩු ගත් ඇය එම මෙහෙ­යු­මට එක් වුවාය.

උර්මි­ලාට මෙවර ක්‍රිකට් ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී ඔස්ට්‍රේ­ලි­යානු පිලේ කළ­ම­නා­කා­රි­නිය ලෙස කට­යුතු කිරීමේ රාජ­කා­රිය පැවැ­රුණේ යළි ඔස්ට්‍රේ­ලි­යා­වට පැමිණි විග­ස­මය. එය ඇයට අලුත් අත්දැ­කී­මකි. අත්හදා බැලී­මකි. ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­න­යටනම් කුස­ලා­නය කරා යන දුෂ්කර ගම­නට අත්හදා බැලී­ම­කට වඩා උපා­ය­මා­ර්ගික ප්‍රවේ­ශ­යකි. අති­ශ­යින්ම සාර්ථක පිය­ව­රකි.

එය ඇද­හිය නොහැකි කැපී පෙනෙන ජය­ග්‍ර­හ­ණ­යක් බව උර්මි­ලාගේ පියා පව­සයි. ඔහු සිය බාල දිය­ණිය අම­තනු ලබන්නේ ‘බේබි‘ සුර­තල් නාම­යෙනි. කැප­වීම, නොප­සු­බට උත්සා­හය හා දිරි­ය­ස­ම්පන්න බව ‘බේබි‘ගේ සාර්ථ­ක­ත්ව­යට හේතුව බවත් ඔහු කීවේය. ජය­ගත නොහැකි අභි­යෝග ලොව නැති බව ඇය පෙන්වා දී ඇතැයි ද ඔහු පැවැ­සීය.

ඔහු ‘බේබි‘ අව­සන් වරට දුටුවේ මේ වසරේ මුල් භාග­යේ­දීය. ලද විවේ­ක­ය­කදී ඇය සිය මාපි­යන් දැක බලා ගැනී­මට මැංග­ලෝර් කෝපි වත්තට පැමි­ණියේ පසු­ගිය මාර්තු­වේ­දීය.

‘අපි බැංග­ලෝර් හා පූනේ­ව­ලදී පාකි­ස්තා­න­යට හා බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව ඔස්ට්‍රේ­ලි­යාව සහ­භාගි වුණු තරග නැර­ඹුවා. අපිට ෆයි­නල් මැච් එක බල­න්නත් ආසා­වක් තිබුණා. ඒත් කෝපි වත්ත දාලා යන්න බැරි නිසා ඒ අව­ස්ථාව මඟ හැරුණා.‘ ඇගේ මව අයිවි එසේ කීවාය.

ඔස්ට්‍රේ­ලි­යා­නු­වන්ගේ ලෝක කුස­ලාන ජය­ග්‍ර­හ­ණ­යට පාර කැපූ උර්මිලා රොසා­යි­රෝගේ රාජ­කා­රිය තවම අව­සන් වී නැත. ඇය හෙට අනි­ද්දාට නැවත ඔස්ට්‍රේ­ලි­යානු කාන්තා පිලේ කළ­ම­නා­කා­රි­නිය ලෙස වැඩ භාර ගැනී­මට නිය­මි­තය. ඇගේ ඊළඟ මෙහෙ­යුම වන්නේ ලබන මස ආරම්භ වන ඔස්ට්‍රේ­ලි­යානු කාන්තා ක්‍රිකට් පිලේ ඉන්දීය සංචා­රයයි. එය ඔස්ට්‍රේ­ලි­යා­වට තවත් ජය­ග්‍ර­හ­ණ­යක් අත්කර දෙන සාර්ථක තරග සංචා­ර­යක් වනු ඇතැයි දැන­ට­මත් අනා­වැකි පළ වී තිබේ. 

ෆවුස් මොහො­මඩ්