Criticisms-about-the-people-of-Wattala-who-sacrificed-robes-to-the-idol-of-Aukana

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය පසුගිය සතිඅන්තයේ සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක් විය.
මේ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසා තිබේ.
පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා සිද්ධිය පිළිබඳ තොරතුරු රැස්කිරීමට පුදබිම වෙත පිටත්කර යවා ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.


පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යා ස්මාරකයක හෝ ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතියි.
මේ අතර අද (27) සවස මාධ්‍ය හමුවක් කැඳවා තිබූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි අවුකන පිළිම වහන්සේට සිවුරක් පෙරවීම වෙළෙඳ ප්‍රචාරණ කටයුත්තක් ලෙස අනාවරණය කළහ.
එහි දී එම හිමියන් කියා සිටියේ,


"බුදු දහම විනාශ කරන තවත් පියවරක් අපි දැක්කා, අවුකන ප්‍රතිමා වහන්සේට සිවුරක් පෙරවලා කරන විහිලුවක්. එක්තරා පිරිසක් මේ දේ කරන්නේ, පැහැදිලිව ම වෙළෙඳ දැන්වීමක් හැටියට. එහෙත් එහි ලා සැඟවුණු අර්ථයක් තියනවා. ඒ අර්ථය තමයි බෞද්ධ පුරාවස්තු විනාශ කිරීම, බෞද්ධ පුරාවස්තු විකෘති කිරීම, ඒ හරහා බුදු දහමට නිග්‍රහ කිරීම.

එක් පැත්තකින් ප්‍රසිද්ධියේ ම අපට පේනවා බෞද්ධ පුරාවස්තු විනාශ කරන විදිහ. දැන් මේ සිවුරු පෙරවීමෙන් කරන්නෙත් පුරාවස්තු විනාශ කිරීමක්.

පුරාවස්තුවකට අත තියන්න නීත්‍යානුකූලව තහනම්. විශේෂයෙන් අවුකන පිළිම වහන්සේ ඉදිරියේ පින්තූරයක්වත් ගහන්න සාමාන්‍ය කෙනෙක්ට ඉඩ දෙන්නේ නැහැ. ඒවා අතපත් ගාන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒ පුරාවස්තුවල ආරක්ෂාවට.

නමුත් ඒක උඩට නැගලා, සිවුරු පෙරවලා, මහ විකාරයක් කරන්න ඒ අයට ඉඩ දුන්නේ ඇයි? ඉඩ දුන්නේ කවුද?"