awukana-thera-speaks

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට චීවරයක් පැළඳවීමට අවසරයදීම සම්බන්ධයෙන් අවුකන රජමහ විහාරධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මඛිත්ති හිමි අද දින පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට යොමුවූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්ස් ප්‍රකාශ කළේ,
 බුද්ධ ප්‍රතිමාවට එසේ පළඳවනු ලැබූයේ කඨින චීවරයක් බවත් එය මෙරට විශේෂඥ වෛද්‍යවරයකුගේ කඨින පිංකමට සමගාමීව කළ ඉල්ලීමක් මත එම පවුලේ පිරිස විසින් පඬු පොවා විශේෂයෙන් සැකසූ කඨින චීවරයක් බවත්ය.
'සුගත චීවර පූජාවක්' ලෙස මෙම පූජාව වත්තල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් සිදු කළ බවට ඊයේ ආරංචි ලැබී තිබිණි.

අද දින මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමි පැවසූයේ මෙය 'වෙ​ළෙඳ ප්‍රචාරණ' කටයුත්තක් බවට තොරතුරු ලැබී ඇති බවයි.
කෙසේ වෙතත් විහාරාධිපති හිමියන් එම කරුණු ප්‍රතික්ෂේප කළ අතර මෙම ක්‍රියාව විවේචනය කරන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේට චීවරයක් පැළඳවීම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා නූගත් අනාවබෝධයෙන් යුත් පිරිසක් බව චෝදනා කළහ.
මීට දින කිහිපයකට ඉහත දී තමන්ගෙන් විශේෂඥ වෛද්‍යවරයා විශේෂ කඨීන චීවර පූජාවක් පැවැත්වීමට අවශ්‍ය බවට ඉල්ලීමක් කරනු ලැබූ විට එය ගැටලුවක් නැති බවට තමන් තීරණය කළ නිසා ඊයේ දිනට යෙදී තිබූ පුරපසළොස්වක පොහොය දිනයේ දී එම කඨින චීවරය අවුකන ප්‍රතිමාවට පූජා කළ බව හිමියෝ දන්වා සිටියහ.


 චීවරය උස අඩි 42කින් හා පළල අඩි 23කින් යුක්ත ව සකස් කර සම්ප්‍රදායානුකූල ව පඬු පොවා සකස් කිරීමට එම වෛද්‍යවරයා ඇතුළු පිරිස කටයුතු කර තිබූ බවත් ගෞරවනීය චාරිත්‍ර වලින් පසු චීවරය පැළඳූ බවත් කියා සිටියහ.
කෙසේ වෙතත් පසුව පැය තුනක පමණ කාලයකින් පසුව ඔවුන් එම කඨින චීවරය ප්‍රතිමාවෙන් ඉවත්කර අවුකන විහාරස්ථානයට පූජා කිරීමට කටයුතු කරනු ලැබූ බවද දැන් චීවරය එහි රඳවා නැති බවද උන් වහන්සේ පැවසූහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද පැමිණ මේ ගැන ප්‍රශ්න කළ බවත් පෞරාණිකත්වයට හෝ පිළිමයට කිසිදු හානියක් සිදු ව නොමැති බව තමන් සහතික වූ බවත් ඉදිරියටත් එසේ වීමට ඉඩ නොතබන බවත් විහාරාධිපති හිමියෝ පැවසූහ.