bad-weather

ඉදිරි පැය කිහිපයේ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙනි.

ඒ හේතුවෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන්නැයි දැදුරු ඔය පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට, වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.



මේ අතර අධික වර්ෂාවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර මහතා සඳහන් කළේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් වැලිමඩ – පුහුල්පොළ  මාර්ගය අවහිර වී ඇති බවයි.

මේ අතර බංගලාහත ප්‍රදේශයෙන් පස් කඳු කඩා වැටීම හේතුවෙන් නුවරඑළිය – නානුඔය මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමාකර ඇත.

පන්විල කබරගල මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇත්තේ, හාතලේ ප්‍රදේශයෙනි.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ඇණහිට තිබේ.

අවදානම් පවුල් 2 ක් එම ප්‍රදේශයෙන් ඉවත් කළ බව ද , පොලීසිය සඳහන් කළේ ය.



මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලටත්, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.