badulla-road-blocks-due-to-weather

බදුල්ල - කොළඹ මාර්ගයේ බලංගොඩ, සිලෝගම ප්‍රදේශයට පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේ විශාල කළුගලක් සහිත පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ඊයේ (22) එහි ගමනාගමන කටයුතු ඇණහිට තිබිණි. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ 155ත් 156ත් අතර කිලෝමීටර් කණු ආසන්නයේ කණු ආසන්නයේ බෙලිහුල්ඔය සිලෝගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මෙම විශාල කළුගල් සහිත පස් කන්ද කඩාවැටීම හේතුවෙන් මාර්ගය මුළුමනින් වැසී තිබිණි. මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කිරීමට ඊයේ සවස පියවර ගත් නමුත් වාහන කීපයක් ඒ හරහා ගමන් කරන අතර, ඇදහැළුණු වර්ෂාව නිසා පස් කන්දේ කොටසක් යළි පාත්වී මාර්ගය යළි වැසී ගියේය.

මෙම පස් කන්ද කඩා වැටීමත් සමගම මාර්ගය ආසන්නයේ තිබුණු ගස් කඩාවැටීම හේතුවෙන් විදුලි කණුවලටද හානි සිදුවී විදුලිය විසන්ධි විය.මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමනල වැව පොලිසිය සහ කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරීන් මැදිහත් වී කටයුතු කළ අතර,

පස් කඳු ඉවත් කර මාර්ගය විවෘත කිරීමට උත්සාහ කළ ද මහ වැසි හේතුවෙන් පස් ඉවත් කිරීමේ කටයුතු නතර කරන්නට සිදු විය. ඊයේ (22) උදෑසන 11 පමණ වන විට පා ගමනින් යාම සඳහා පමණක් මාර්ගය විවෘත කිරීමට හැකි විය.

මේ අතර එම මාර්ගයට කඩා වැටුණු ගල් පර්වතය වෙඩි දමා පුපුරුවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කටයුතු ආරම්භ කළ ද ඊයේ පස්වරුව වන විටත් මෙම පස් කන්ද කඩා වැටීම හේතුවෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ සේවය කරන කාර්ය මණ්ඩලයට, බලංගොඩ නගරයේ පාසල්වලට පැමිණෙන සිසුන්ට සහ ගුරුවරුන්ට පාසල් කරා පැමිණීමට නොහැකි විය.

බදුල්ල - කොළඹ මාර්ගයේ මීටර් 250 ක පමණ කොටසක් නායගිය පස් කන්දට යට වී තිබූ අතර, අඩි 50 ක් පමණ උසට මෙම පස් කණ්ඩිය තිබූ බව ද පොලිසිය කියයි.බදුල්ලේ සිට කොළඹ බලා ගමන් ගත් මගින් නායගිය කොටස. හරහා ගමන් කර වෙනත් බස් රථ වලින් කොළඹ බලා පිටත් කර යැවීමටත්,

කොළඹ සිට බදුල්ල බලා ගමන් ගත් මගින් වෙනත් බස් රථවලින් බදුල්ල බලා පිටත් කර යැවීමටත් පොලිසිය පියවර ගත්තේය.

මේ අතර පෙරේදා (21) සවස බලංගොඩ, හුණුකුඹුර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක්  කඩා වැටීම හේතුවෙන් එම නිවසෙහි සිටි කාන්තාවක බරපතළ තුවාල ලබා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත. කොළඹ ඇඹිලිපිටිය මාර්ගයේ කහවත්ත වැල්ලඳුර බෝධිය අසල විශාල ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද තාවකාලිකව නතර විය. බලංගොඩ රත්නපුර ප්‍රධාන මාර්ගයේ මැද්දකන්ද ප්‍රදේශයට විශාල කළු ගලක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට ද බාධා එල්ල විය.