balangoda-missing-family

බලංගොඩ, පෙරේදා (12) රාත්‍රියේ නාය යාමෙන් යටවූ පවුලේ සාමාජිකයන් සිවුදෙනා සොයා යුද හමුදාව හා පොලිසිය ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක  කළද ඔවුන්ගේ  සිරුරු ඊයේ (13) සවස වන තෙක්ම සොයා ගැනීමට නොහැකි විය. මෙම නාය යාමෙන් බලංගොඩ වැහින් තැන්න ප්‍රදේශයේ නිවාස දෙකකට අර්ධ හානි සිදු වූ අතර එක් නිවෙසක් සම්පුර්ණයෙන්ම නායෙන් යටවී එම නිවෙසේ මව, පියා, දියණියෝ දෙදෙනා පස් යට එසේ මිහිදන් වුහ. හිත කැලේ සුමිත් කුමාර (47), එදිරියන් කඩවල කන්දේ දුරුගේ සිරියලතා (41), තෂාරා නවෝදී (16), විමන්සා ඉසුරු (10) නායට හසුව අතුරුදන්ව සිටිති.

අතුරුදන් වූවන් සොයා සිදු කරන මෙහෙයුම් වලට කුරුවිට යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එච්.එම්.ආර්. හෙන්නායක මහතාගේ නායකත්වයෙන් අට වැනි ගැමුණු හේවා බල ඇණියේ නිලධාරීන් තිස් දෙනකුගෙන් සමන්විත භට පිරිසක් එක්වී සිටිති.නාය යාමෙන් පවුල් හතක සාමාජිකයන් විසි පස් දෙනකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් එම පිරිසට වියළි ආහාර ලබා දීමට කටයුතු කළ බවත් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් ඒ. ආර්.එම්.ඒ. බණ්ඩාර මහතා පැවැසීය.බණ්ඩාර මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවැසුවේ නාය යාම නැරැඹීම සඳහා පැමිණෙන ජනතාවගෙන් මෙහෙයුම්වලට බාධාවක් මෙන්ම එම ජනතාවගේ ජීවිත අවදානමකට ලක්විය හැකි නිසා එම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසය.



ප්‍රදේශයේ අවතැන් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා ඇතුළු කණ්ඩායමක් ප්‍රදේශයට පැමිණ එම කටයුතු වල නිරත වෙමින් සිටින බව ද සඳහන් කළේය.එම ස්ථානයට රත්නපුර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාද පැමිණ සිටි අතර ඒ මහතාගේ උපදෙස් මත බලංගොඩ හා ඕපනායක යන පොලිස් ස්ථාන වල නිලධාරීහු ස්ථානගත කරනු ලැබ සිටියහ.

එදින පස්වරුව වන විට නාය ගිය ස්ථානය නැරඹීමට පැමිණෙන ජනතාවට ඒ ආසන්නයට යාමට පොලිසිය ඉඩ ලබා නොදුන් අතර බලංගොඩ- රත්නපුර මාර්ගයෙන් එම ප්‍රදේශයට ඇතුළු වන වාහන ජනතාවගේ ආරක්ෂාව සැලැකිල්ලට ගෙන පොලිසිය විසින් සීමා කරනු ලැබීය. බඹරගලකන්ද නාය යාමට සුළු වෙලාවකට පෙර කන්ද ඉහළින් බියකරු හඬක් නිකුත් කරමින් පළමු නාය යාම සිදුවූ බවත් ඒ අවස්ථාවේ නිවාස කීපයක සාමාජිකයන් සිය නිවෙස් වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යමින් සිටියදී දෙවැනි නාය යාමක් සිදුවූ බව එම ප්‍රදේශවාසියෙක් පැවැසීය.

නාය යාමේ හඬ ඇසීමත් සමග සිය නිවෙසින් ආරක්ෂිත ස්ථානයක් කරා යමින් සිටි වියපත් පුද්ගලයකු පස් ගොඩක එරී සිටියදී එදින රාත්‍රියේම ප්‍රදේශවාසීන් එක්වී ඉන් මුදාගැනීමට හැකි වූ බව ප්‍රදේශ වාසීහු පැවැසූහ.අතුරුදන් වූවන් සොයා සිදුකරන මෙහෙයුම්වලට ජේසීබී යන්ත්‍ර කිපයක්ද යොදවාගෙන තිබූ අතර නාය යාමත් සමග එම ස්ථානයට පෙරළී ඇති විශාල ගස් හා ගල් හේතුවෙන් මෙහෙයුම් කටයුතු දැඩි අසිරු තිබුණු අතර පස්වරුවේ නැවැත වර්ෂාව පැවැතිය හොත් මෙහෙයුම් කටයුතු නවතා පසු දින නැවැත ආරම්භ කිරීමට සිදුවිය හැකි බව මෙහෙයුමේ යෙදී සිටින නිලධාරීහු පැවැසූහ.

බළන්ගොඩ වැහින්තැන්න ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම හිරුඑළිය අවරට යන තෙක්ම සිදු කරනු ලැබූ අතර අඳුරු ආලෝකයේ හේතුව නිසාම එය නවතා දම්මට සිදුවිය. නමුත් අතුරුදන් සිවුදෙනා පිළිබඳව කිසිම හෝඩුවාවක් සොයා ගැනීමටද සවස් කාලය වනතුරුම නොහැකි විය. එදින පස්වරුවේ ප්‍රදේශයට වර්ෂාවක්ද පතිත නොවීය. එය මෙහෙයුමේ නිරත පිරිසට යම් අස්වැසිල්ලක් වූ නමුත් නැවැත අද ( 14 ) හිමිදිරියේ මෙහෙයම ආරම්භ කිරීම තම අරමුණ බව යුද හමුදාවේ හා පොලිසියේ නිලධාරීහු පැවැසූහ.
රෝහණ සමරවීර