bangladesh-garment-protest

බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟලුම් සේවිකාවන් විසින් තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින්  පවත්වන ලද විරෝධතාවයක් අතරතුර  දී පොලිසිය එල්ල කරන ලද වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගොස් ඇත.  මෙසේ මිය ගොස් ඇත්තේ ගාසිපූර් ප්‍රෙද්ශයේ ඉස්ලාම් ගාමන්ට් හි යන්ත්‍ර ක්‍රියාකාරිනියක වන 26 හැවිරිදි අන්ජුආරා ඛාටූන්ය. විශාල විරෝධතාකරුවන් පිරිසක් රැස් වීමත් සමග , කර්මාන්තශාලාව හදිසියේම වසා දැමීම නිසා ඇය ආපසු නිවස බලා යමින් සිටියාය.

කම්කරුවන් 400ක් පමණ රැස් වූ විරෝධතාවයට , පොලිසිය විසින් එල්ල කෙරූ වෙඩි හඬ ඇසුණු බවත්, පසුව තම බිරිඳගේ නිසල දේහය රැගෙන යන අය දුටු බවත් ඇගේ සැමියා වාර්තාකරුවන්ට පැවසීය. "හිසට වෙඩි වැදී සිටි ඇය රෝහලට ගෙන යන අතරමගදී මෝටර් රථය තුළදීම මිය ගිය බවද ," ඔහු පැවසීය.



දෙදරු මවක් වූ ඛාටූන්ව, ඉක්මනින්ම ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලට ගෙන යන ලද අතර එහිදී ඇය මිය ගිය බව ප්‍රකාශ විය. අෂුලියා, ගාසිපූර් සහ සවාර් ඇතුළු ඩකා අගනුවර පිහිටි ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානවල ඇති වූ ගැටුම් වලදී තවත් සිය ගණනක් බරපතල තුවාල ලබා ඇති අතර, පසුගිය සති දෙක තුළ ඝාතනයට ලක්වූ තුන්වැනි ඇඟලුම් සේවිකාව ඇයයි.

මියගිය අය අතරට Design Express Ltd හි විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කළ 26 හැවිරිදි Rasel Hawlader සහ ABM Fashions ගිනි තැබීමෙන් පසු බරපතල තුවාල ලබා මිය ගිය 32 හැවිරිදි Imran Hossain ද ඇතුළත් වේ.

ඇඟලුම් කම්කරුවන් සඳහා අවම වැටුප් සැකසීමේ ක්‍රියාවලිය බංග්ලාදේශයේ 2023 අප්‍රේල් මාසයේ සිට සිදුවෙමින් පවතී.  එරට රජය විසින් ටකා 12,500 (LKR 37000) දක්වා වූ මාසික වැටුප් වැඩිවීමක් ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙම ප්‍රචණ්ඩත්වය ඇති විය. වැඩි කරන ලද මුදල ප්‍රමාණවත් නොවන බව හා ඉහළ දමා ඇත්තේ ඉල්ලීම් කළ ප්‍රමාණයෙන් අඩක් පමණක් වන බව පවසමින් මෙම විරෝධතා ආරම්භ විය.



සංශෝධිත වැටුප් පිළිබඳ පුවත පැතිරීමත් සමඟ අගනුවර අවට විරෝධතා වඩාත් ප්‍රචණ්ඩකාරී විය. දහස් ගනනක් කම්කරුවන් ප්‍රධාන මාර්ගයන් අවහිර කළ අතර පොලිසිය විරෝධතාකරුවන් විසිරුවා හැරීමට , කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිතා කළේය. විරෝධතාකරුවන් විසින් බස් රථ ගිනිබත් කරමින්, ගොඩනැගිලි වලට හානි කිරීම නිසා දේශසීමා ආරක්ෂකයින් කැඳවන ලදී.

"යෝජිත නව වැටුප පිළිගත නොහැකියි. අපි එය ප්‍රතික්ෂේප කර සංශෝධනයක් ඉල්ලා සිටිනවා. අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ වහාම මැදිහත් වී පොලිස් ම්ලේච්ඡත්වය නතර කරන ලෙසයි" යනුවෙන් වෘත්තීය සමිතිවාදී නස්මා අක්තර් පැවසීය.

නව වැටුපක් හා සාධාරණ වන්දියක් ලබා දෙන බවටත්,  කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලන බවටත් සහතික වන ලෙස අක්තර් බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටියි.