beruwala-incidnet

බේරුවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතකු අතර ඇති වූ අමනාපයක් මුල්කරගෙන ඔවුන් දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක බේරුවල නගරයේ දී ඊයේ (16) අලුයම මුහුණට මුහුණ හප්පාගෙන ඇති බව පොලිසිය පවසයි. සිද්ධියෙන් වාහන දෙකට හානි සිදුවී ඇති බවද පොලිසිය සඳහන් කරයි.



පියා (53) බෝට්ටු හිමි ව්‍යාපාරිකයකු බවත්, පවුල් ආරවුලක් මුල්කරගෙන ඔහු දරුවන් හා බිරිඳ සමග අමනාපයෙන් සිට ඇති බවත් පොලිසිය සඳහන් කරයි.පියා පයාගල සිට මෝටර් රථයෙන් බේරුවල නගරයට පැමිණෙමින් සිටියදී පුතා බේරුවල සිට පයාගල දෙසට මෝටර් රථයෙන් ගමන් කර ඇති අතර බේරුවල නගරයේදී මෙම සිද්ධිය වී ඇති බව පොලිසිය පවසයි.

දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක බේරුවල නගරයේ දී මුහුණට මුහුණ හමුවීමත් සමග වාහන දෙක එකට  හප්පාගෙන ඇති බවටත්, පුතා පියා සමග බහින් බස් වී ඔහුට පහර දුන් බවටත් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පියා තමා පැදවූ මෝටරථයේ පුතා ඔහුගේ වාහනය හප්පා හානි කළ බවට පොලිසියට පැමිණිලි කර ඇත.සිද්ධියට මුල් වූ වාහන දෙක පොලිසියට රැගෙනවිත් ඇත. බේරුවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක