wanidu-maheesh

ඇෆ්ගනිස්තානය සමගින් පෙරේදා (30දා) පැවති තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී තරගය පරාජය සම්බන්ධයෙන් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස තමන්ද වගකීම භාර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්‍ෂණ පවසයි.

හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ, පිටියේදී සිය දඟපන්දු සහායකයා ලෙසින් කටයුතු කරන වනිඳු හසරංග නොමැතිවීමේ අඩුපාඩුව තදින් දැනෙන බවයි.



මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ තීක්‍ෂණ, “අපි පුළුවන් තරම් උත්සාහ කළේ අලුත් පන්දුවෙන් කඩුලු ගන්න. නමුත් පින්නත් එක්ක කඩුල්ල පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වුණා”යැයි හෙතෙම පවසා සිටියේය.

එමෙන්ම අනෙකුත් තරගවලදී මෙන්ම මෙම තරගයේදීද කණ්ඩායමේ මැදපෙළ පිතිකරණය අසාර්ථක වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහීෂ් පැවසුවේ, එය තරග පරාජය සඳහා මූලික හේතුවක් වූ බවත්, ඒ සම්බන්ධයෙන් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවන් සමගින් හා පුහුණු උපදේශකයකු වූ මහේල ජයවර්ධන සමගින් සාකච්ඡා කරන බවයි.



මේ අතර ශ්‍රී ලංකා පන්දු යැවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහීෂ්,“අපි ඉක්මනින් කඩුල්ලක් දවා ගත්තත්,ඉන් ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට ලබාදුන් පීඩනය දිගටම පවත්වා ගන්න අපි අසමත් වුණා” යනුවෙන් පැවසීය.

  ඕෂිත වරකපිටිය (ඉන්දියාවේ පූනේ සිට)