How-MP-Namal-and-five-others-were-acquitted-in-the-Hello-Cop-case

හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්‍යක්‍ෂ මහතා ඇතුළු පස්දෙනකුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ පවරා ඇති නඩුවෙන් විත්තිවාචක නොකැඳවාම ඔවුන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (02) නියම කළේය.

විත්තිකරුවන්ගෙන් විත්ති වාචක කැඳවීමට තරම් පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීන්දු කරමින් විත්තිකරුවන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව නිකුත් කර ඇති විදේශ ගමන් තහනම් සහ විවෘත වරෙන්තු අවලංගු කිරීමට ද නියම කළේය. ද දේශපාලන වශයෙන් පලිගැනීම සඳහා නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති නමුත්, ඔවුන්ට එරෙහි කිසිදු චෝදනාවක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි කියමින් විත්ති වාචක නොකැඳවාම සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ ඔවුන්ගේ නීතීඥවරුත් මීට පෙර කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අමතරව මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ, පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම, ගුවන් සේවිකාවක වූ නිත්‍යා සේනානි සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සිල්වා සහ ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තන්ය. 2013 ඔක්තෝබර් මස පළමුවැනිදාත්, 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනු දෙනුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබිණි.

එලෙස හෙළි නොකරන ආකාරයකින් හා අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් " හෙලෝ කෝප්” ආයතනය මිලදී ගෙන ඇති බවට ද නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා නගා තිබිණි.දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව නීතිපතිවරයා විත්තිකරුවන්ට ඵරෙහිව මෙම නඩුව පවරා ඇත.



මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, පැමිණිල්ලේ සාක්කි විභාගය මීට පෙර දින අවසන් කළ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන, ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු නීතිඥවරු අධිකරණය අමතමින් විත්තිකරුවන්ට එරෙහි කිසිදු චෝදනාවක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් විත්ති වාචක නොකැඳවාම ඔවුන් නිදොස් කොට නිදහස් කරන්නැයි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ ඉල්ලා සිටියහ.එම ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා යම් පුද්ගලයකුට එරෙහිව අධිකරණයට චෝදනාවක් ඉදිරිපත් වූ විට, අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොවන බවත්, ඔවුන්ට එරෙහි ව ඉදිරිපත්කර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බවත් සඳහන් කළේය.

මෙම නඩුවේදී විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල වෙනුවෙන් සාක්කි සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විශ්වාසයෙන් තොර බවත්, ඒවා පිළිගැනීමට අධිකරණයට හැකියාවක් නැති බවත්, පැවසූ විනිසුරුවරයා චිත්ති වාචක නොකැඳවාම විත්තිකරුවන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කළේය.විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති  නීතිඥවරුන් වන සම්පත් මෙන්ඩිස්, නවීන් මාරපන නීතිඥ නිර්මාල් කොඩිතුවක්කු මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියේය.

 මනෝප්‍රිය ගුණසේකර