Singapore-Yanawei-Kee-National-Hospital-Doctor-Nona-took-8-months-salary-from-home

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක ලෙස සේවය කළ වෛද්‍යවරියක 2019 වසරේ දී සිංගප්පූරුවේ විදේශ පුහුණුවක් සඳහා නිවාඩු අනුමත කරගෙන ඇතත් මාස අටක කාලයක් මෙරට රැඳී සිටිමින් එම විදේශ පුහුණු දීමනාව ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාරිලිමේන්තු කාරක සභාව විසින් පත්කෙරුණු අනුකාරක සභාවේ දී තොරතුරු අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා අමාත්‍යංශයේ විමර්ශන අංශයෙන් නිර්දේශයක් නොගෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දී ඇති නිර්දේශයක් මත මෙම නිලධාරිනිය සියලු චෝදනාවලින් නිදහස් කර ඇති බව විගණන නිලධාරීහු කමිටුවට දැනුම් දුන්හ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම විමර්ශන වාර්තාවක් දෙන ලෙස කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.මේ අතර හෙද පුහුණු පාසල්වලට පුහුණුව සඳහා බඳවාගෙන තිබූ හෙද සිසුන් පුහුණුව අතහැර යෑමේදී අයකරගත යුතු මුදල් අය කර නොගැනීම සම්බන්ධයෙන් ද එහිදී ප්‍රශ්න කෙරිණි. 1999 වසරේ සිට 2017 වසර දක්වා එසේ පුහුණුව අතහැර ගිය පිරිස සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අමාත්‍යංශය සතුව නොමැති බව විගණන නිලධාරීහු මෙහිදී පැවැසූහ.

පුහුණුව අතහැර ගොස් සිටින පිරිසෙන් අයවිය යුතු මුදල් සහ අය කරගෙන ඇති මුදල් සම්බන්ධයෙන් වාර්තාවක් මසක් ඇතුළත දෙන ලෙස අනුකාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ අතර සේවය අතහැර යැමේ නියෝග නිකුත් කෙරුණු මෙරට වෛද්‍යවරුන් සංඛ්‍යාව හා ඔවුන්ගෙන් අයවිය යුතු මුදල් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දෙන ලෙස කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කළේය.



වෛද්‍යවරුන් විදේශගතවීමේ දී හා ඔවුන් නැවත මෙරට සේවයට වාර්තා නොකිරීමේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩි වගකීමකින් කටයුතු කරන ලෙස අනුකාරක සභාවේ සභාපති මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ අතර නවක වෛද්‍යවරුන්ට පත්වීම් දීමේ දී ඇතැම් වෘත්තිය සමිති බලපෑම් කරන බව සෞඛ්‍ය බලධාරීහු කෝපා අනුකාරක සභාවට දැනුම් දුන්හ.රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුකාරක සභාව එහි සභාපති මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගිය 31 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේ දී ය.
අංජුල මහික වීරරත්න