The-mother-who-went-to-speak-about-her-son-who-died-during-a-protest-was-imprisoned-in-Iran

තම පුතුගේ අනපේක්ෂිත මරණය ගැන කතා කරන්නට ගිය ඉරාන මවකට වසර 13ක සිරදඬුවමක් පනවන්නට දැඩි මතදාරී ඉරාන අධිකරණය තීරණය කර තිබේ.
ඉරානයේ විරෝධතාවයක් අතරතුරදී මෙම පුද්ගලයා මිය ගිය බව පැවසෙන අතර එම සිද්ධිය පසුව සමාජ මාධය තුළ ආන්දෝලනයක් ඇතිකළේය.
ඉරානයේ ආරක්ෂක අංශ විසින් මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබුනේ මොහොමඩ් ජාවාඩ් සහීඩි නම් 20 හැවිරිදි තරුණයෙකි.  ජාවාඩ්ගේ මව වන යස්දානි , සමාජ මාධ්‍ය හරහා තම දරුවාට යුක්තිය ඉල්ලා සිටීම නිසා ඉරාන අධිකරණයක් විසින් ඇයට වසර 13 ක සිර දඬුවමක් නියම කර තිබේ.

2022 සැප්තැම්බරයේ රෙජීම විරෝධී විරෝධතාවක් අතරතුරදී ජාවාඩ් සහීඩි ඝාතනයට ලක්විය. ඉරානයේ පවතින මානව හිමිකම්වලට අනුව, අපහාස කිරීම, උසිගැන්වීම, උත්තරීතර නායකයාට අපහාස කිරීම සහ පාලන විරෝධී ප්‍රචාර පතුරුවා හැරීම යන චෝදනා මත ජාවාඩ් වරදකරු කරනු ලැබීය.

ඉරානයේ “සදාචාරාත්මක පොලිසිය” විසින් හිජාබය නිවැරදිව පැළඳ නොගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගත් තරුණ කුර්දි ජාතික කාන්තාවක් වන Mahsa Amini අත්අඩංගුවේ සිටියදීම මියයෑම හේතුවෙන් ඉරානය තුළ මහජන විරෝධතා ඇති විය. එ් වෙනුවෙන් පැවැත් වූ විරෝධතාවයකට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද  වෙඩි ප්‍රහාරයකින් ජාවාඩ් මිය ගොස් ඇති බව වාර්ථා වෙයි.

ජාවාඩ්ගේ පවුලේ අය පැවසූවේ , ඔහුගේ හිසේ පිටුපස කොටසට ආසන්න කලාපයට වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල වී ඇති බවයි. ජාවාඩ් ගේ මරණය පරීක්ෂා කළ වෛද්‍ය පරීක්‍ෂකවරයාගේ වාර්තාවෙන් ද ඒ බව තහවුරු විය.



තම පුතුගේ ඝාතනයෙන් පසු, විරෝධතාකරුවන්ට එරෙහිව සිදු කරන පාලන තන්ත්‍රයේ ප්‍රහාරයන් ප්‍රසිද්ධියේ හෙළා දැකීමට Yazdani පියවර ගත්තාය. පෙලපාලිවලින් මියගිය තම පුතුට සහ අනෙකුත් අයට යුක්තිය ඉල්ලා සිටි ඇයව අගෝස්තු 22 වන දින අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඇයට විරුද්ධව පැවති නඩු විභාගයකින් පසු දඬුවම් නියම විය. .

වරදකරු කිරීම සහ පැනවූ දීර්ඝ සිර දඬුවම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉරානයේ මානව හිමිකම් කේන්ද්‍රය පැවසුවේ, “ඉරානයේ සිටින මව්වරුන් සිය ගණනකට, ඝාතනය වූ තම ආදරණීයයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමට ඇති නිදහස, පාලන තන්ත්‍රය විසින් අවහිර කරමින් සිටියි. තම පුතුට යුක්තිය පතා ක්‍රියා කළ  මවක් වන යස්දානි ගේ නින්දිත දඬුවම අපි තරයේ හෙළා දකිමු” යනුවෙනි.

ඉරාන බලධාරීන් විරෝධතා අතරතුර මියගිය අයගේ පවුල් ලුහුබඳිමින් සිටී.  යස්දානි ට ලබා දුන් දඩුවම තුළින් එය මනාව පසක් වෙයි. ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සිවිල් අයිතිවාසිකම් කණ්ඩායමේ සාමාජික ස්කයිලර් තොම්සන් පැවසුවේ , යස්දානිට දඬුවම් නියම කිරීම “බලධාරීහු වින්දිතයන්ගේ පවුල්වලට නිර්දය පීඩනයක් එල්ල කරන බවට ඇති තවත් පැහැදිලි ලකුණක් වන බවයි.

2023 මැයි මාසයේදී, ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කරන ලද 17 හැවිරිදි අබෝල්ෆාස්ල් ඇඩිනෙසාදේගේ පියා සහ සහෝදරියටද “රාජ්‍ය විරෝධී ප්‍රචාරක” චෝදනාව එල්ල වූ බව ඔවුන්ගේ නීතිඥවරයා පවසයි.

එතැන් සිට, අබෝල්ෆාස්ල් ගේ පවුල පාලන තන්ත්‍ර නියෝජිතයින්ගේ අඛණ්ඩ වැටලීම් සහ තර්ජනවලට ලක්ව ඇති බවද ඔහු පැවසීය.

විරෝධතාවක් අතර තුරදී  ආරක්ෂක නිලධාරියෙකු ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව ජනවාරි මාසයේදී මරණ දණ්ඩනය හිමි වූ 22 හැවිරිදි කරාටේ ශූර මොහොමඩ් මෙහෙදි කරමිගේ පියා වන මෂල්ලා කරමි සම්බන්ධයෙන් ද මානව හිමිකම් ක්‍රියාකාරීන් තම කණගාටුව පළ කර ඇත . මෂල්ලා විසින් තම පුතුට මරණ දණ්ඩණය ලබා දීමට පෙර , ප්‍රසිද්ධියේ දයාව ඉල්ලා සිටියේය. එසේම ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ තරුණ විරෝධතාකරුවන්ට යුක්තිය ඉල්ලා සිටියේය.ඉන් පසු මෂල්ලා පිළිබදව තොරතුරක් නොමැති වූ හෙයින් ,  ඔහුව අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇතැයි මානව හිමිකම් ක්‍රියාකාරීන් විශ්වාස කරති.

2022 ඔක්තෝම්බර් මාසයේදී ආරක්ෂක අංශ විසින් ඝාතනය කරන ලද 16 හැවිරිදි කුමාර් ඩැරොෆ්ටාදේගේ සමීපතම ඥාතියෙකු පැවසුවේ, ඉරාන රජය විසින් ඝාතනය කරන ලද පුතුන්ට යුක්තිය පතා ක්‍රියා කරන මව්වරුන්ට හිංසා පීඩා කරන බවයි.  “තර්ජනවලින් අමානුෂික ක්‍රියා වසා ගත නොහැකි නිසා , අහිමි වූ අපගේ ආදරණීයයන් වෙනුවෙන් අපි දිගටම සටන් කරන්නෙමු. සටන අත්නොහැර සිටින Mahsa Yazdani වැනි නිර්භීත මව්වරුන්ට මම ප්‍රශංසා කරමි." යනුවෙන්ද ඔහු පැවසීය.

ඉරානයේ මානව හිමිකම් කණ්ඩායම් විශ්වාස කරන්නේ Amini ගේ මරණයෙන් පසු ඇති වූ විරෝධතා වලදී විරෝධතාකරුවන් 380 කට වැඩි පිරිසක් මිය ගොස් 16,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.