The-husband-was-seriously-injured-by-the-cricket-bat-hit-by-the-wife-and-died

බිරිය විසින් එල්ල කළ ක්‍රිකට් පිති පහරකින් බරපතළ තුවාල ලැබූ හතළිස් පස් හැවිරිදි වියේ පසුවූ සැමියකු තිස්සමහරාම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි තිස්සමහරාම පොලිසිය පවසයි.



මෙලෙස මිය ගොස් ඇත්තේ තිස්සමහරාම, කාවන්තිස්සපුර පදිංචිව සිටි චමින්ද කොතලාවල යන අයයි.

පවුල් ප්‍රශ්නයක් මුල්කර ගනිමින් සිය බිරිය සමග ඇති කර ගත් ආරවුලක් දුර දිග යෑමෙන් දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවක් සිදුව තිබේ.

එහිදී බිරිය විසින් සැමියාට ක්‍රිකට් පිත්තකින් පහර දී ඇත. පහර කෑමට ලක්වූ සැමියා බරපතළ තුවාල ලබා බිම ඇද වැටීමෙන් පසු රෝහල් ගත කර තිබිණි. රෝහල් ගත කළ පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයාගේ ඇස් දෙක හා නළල අතර විශාල ප්‍රමාණයේ තුවාල කැලලක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර බිරිය අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරි ගයාන් ප්‍රසන්නගේ උපදෙස් පරිදි තිස්සමහරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.වයි. කුඩාගොඩගේ මූලිකත්වයෙන් පැවැත්වෙයි.

ඒ.ඒ. පේමසිරි - තිස්සමහරාමය