germany-apologize-tanzania-colonial-atrocities-intl

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් නැගෙනහිර අප්‍රිකානු රටක් වන  ටැන්සානියාවේ සංචාරයේ යෙදී ඇති අතර එම සංචාරයේ දී ඔහු ටැන්සානියාව තුළ ජර්මානු හමුදා විසින් සිදු කරන ලද යටත් විජිත යුගයේ කුරිරුකම් සම්බන්ධයෙන් සමාව අයැද තිබේ.

"ජර්මානු ජනාධිපති ලෙස, ජර්මානුවන් මෙහි ඔබේ මුතුන් මිත්තන්ට කළ දේට සමාව ඉල්ලා සිටීමට මම කැමතියි," යැයි ටැන්සානියාවේ තෙදින සංචාරයක් ආරම්භ කළ ජනපති ස්ටේන්මියර්,   දේශීය රණවිරු සොන්ජියා ම්බානෝගෙන් පැවත එන්නන්ට පැවසීය .



1900 ගණන්වල මුල් භාගයේදී ජර්මානුවන්ට එරෙහිව Maji-Maji කැරැල්ල ලෙස හැඳින්වෙන කැරැල්ලක් සිදු කිරීම නිසා ම්බානෝ හා ඔහුගේ සටන්කරුවන් විශාල ප්‍රමාණයක් එල්ලා මරා දමන ලදී.

ජර්මානු යටත් විජිතවාදීන් විසින් ටැන්සානියානුවන් ම්ලේච්ඡ ලෙස මර්දනය කරන ලදී. එම මර්දනයේ දී  300,000 ක පමණ ජනතාවක්  එනම් එවකට ස්වදේශික ජනගහනයෙන් තුනෙන් එකක් පමණ මරා දමන ලදී.

වර්තමාන ටැන්සානියාව ලෙස හදුන්වන ටැන්ගානිකා රාජ්‍යය, 1919 දී බ්‍රිතාන්‍ය පාලනයට පත් වීමට පෙර ජර්මානු යටත් විජිතයක්ව පැවතුණි.

"මෙම කුරිරු ක්‍රියාව පරම්පරා ගණනාවකට එහි සලකුණ තබා ඇතැයි," ජර්මානු ජනාධිපති Steinmeier පැවසීය.

“මට ලැජ්ජයි. ජර්මානු යටත් විජිත සොල්දාදුවන් ඔබේ මුතුන්මිත්තන්ට සහ ඔහුගේ සෙසු රණශූරයන්ට කළ දේ ගැන  ” යනුවෙන් ඔහු  වැඩිදුරටත් පැවසීය.



ටැන්සානියානුවන් ඉදිරියේ ස්ටේන්මියර් සිදු කරනු ලැබූ සමාව අයැදීම සම්බන්ධයෙන් , ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා ඇත. එක් විචාරකයෙක් පැවසුවේ: "සමාව ඉල්ලීම ප්‍රමාණවත් නොවේ ... ජර්මනිය වන්දි ගෙවිය යුතු බවයි."

ජර්මනිය විසින් මීට පෙර ද අප්‍රිකාවේ යටත් විජිත යුගය තුළ සිදු කරන ලද සිය කුරිරුකම් පිළිගෙන තිබුණි.

 ජර්මනිය විසින් වසර සියයකට පෙර ජර්මානු යටත් විජිතයක් ව පැවති  නැමීබියාවේ හෙරෙරෝ සහ නාම ජනවාර්ගික කණ්ඩායම්වලට එරෙහිව ද ජන සංහාරයක් සිදු කරන ලදී. එය සිහිපත් කරමින්  2021 වසරේ දී, එම ජන සංහාරයේ වින්දිතයන්ගෙන් පැවත එන්නන්ට යුරෝ බිලියන 1.1 (ඩොලර් බිලියන 1.3) සහාය ප්‍රකාශයට පත් කළේය .

ස්ටේන්මියර් විසින් ටැන්සානියාවේ සිටින ම්බානෝ සම්බවයක් ඇති පවුලට පැවසුවේ ම්බානෝගේ දේහය සොයා ගැනීමට තම රට කටයුතු කරන බවයි.



“අපි දන්නා දෙය නම් නැගෙනහිර අප්‍රිකාවේ බොහෝ දේහයන් එවකට ජර්මනියට ගෙනැවිත් කෞතුකාගාරවල සහ මානව විද්‍යාත්මක එකතුවල තැන්පත් කරලා තියෙනවා. එමනිසා ඔහුගේ හිස් කබල සොයා ගැනීමට අපි ඔබ සමඟ එක්ව කටයුතු කරන බවට මම පොරොන්දු වෙනවා,” ජර්මානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 ජර්මානු රජයට අනුව හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම අරමුණු කරගත් සංචාරය අතරතුරේ දී  ජනපති ස්ටේන්මියර් බදාදා දිනයේ දී සැම්බියාවට ගියේය  .

එය සතිය මුලදී ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ බටහිර අප්‍රිකානු සංචාරය සමග සමපාත විය. ෂෝල්ස් නයිජීරියාවට සහ ඝානාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු එම රටවල නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.