Crores-paid-weather-officials-without-fingerprints

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රුපියල් කෝටියකට අධික මුදලක් අතිකාල හෝ  නිවාඩු දීමනා ලෙස පසුගිය 2022 වර්ෂයේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කර නොගෙන නීති විරෝධීව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.



අතිකාල හෝ නිවාඩු දින ආදි දීමනා ගෙවීම් කිරීමට කාලය පදනම් කර ගන්නේ නම් ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කරගත යුතු බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් විගණන අංශ කළ විමසුමකදී එහි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එකම වේලාවේ සේවය නිම කර පිටවීම සහ නැවත පැමිණීම සටහන් කිරීමට වේලා සටහන් යන්ත්‍රයේ පහසුකම නොමැති බවයි.

වේලා සටහන් යන්ත්‍රය මිලදී ගත් ආයතනය සමඟ සාකච්ඡා කර එම පහසුකම ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යන බවද එහි නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

මේ අතර චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු බව විගණන නිලධාරීහු එම නිලධාරීන්ට මෙහිදී නිර්දේශ කළහ.



මේ අතර සේවය හැරගිය සේවකයන්ගෙන් අය විය යුතු ණය මුදලක් 2022 වර්ෂයේදී අය කරගෙන නොතිබූ බවද ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
- සුජිත් හේවාජුලිගේ