boralesgamuwa-brothel-raided

බොරලැස්ගමුව, වැවපාර සිව්මහල් ගොඩනැගිල්ලක අන්තර් ජාල භාවිතයෙන් සිදුකරගන යනු ලැබූ ගණිකා නිවාසයක් පෙරේදා (8) දින අලුයම වටලා එහි කළමනාකාරිය ඇතුළු කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි. කළමනාකාරිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු (44) ක්ද, අනෙක් කාන්තාව වයස අවුරුදු (42) ක්ද වන බවත් පොලීසිය පැවසීය.



මෙම කළමනාකාරිය විසින් අන්තර් ජාල සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දුරකතන මගින් ලබාදෙන ඇනවුම් පමණක් ලබාගන සූක්ෂම ලෙස කාන්තාවන් ගෙන්වා ගනු ලබන බවත් ඒ සඳහා රුපියල් 5000/= සිට රුපියල් 30,000/= දක්වා විවිධ මිල ගණන්වලට කාන්තාවන් අලෙවි කරනු ලබන බව හෙළිවී ඇතැයිද පොලීසිය පැවසීය.

මේ අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත පොලිස් උපායදූතයකු රුපියල් පන්දහසක මුදලක් ගෙවා එම ස්ථානයෙන් දුරකතන මගින් ලබාගත් ඇනවුමක් මත කාන්තාවක වෙන්කරවාගන ගොස් මෙම වැටලීම සිදු කරනු ලැබ ඇත.



මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ අධීක්ෂණය මත පොලිස් කොස්තාපල් 74259 හේරත්, 99093 ධනංජය, 88879 ලසන්ත, කාත්තා පොලිස් කොස්තාපල් 11853 ඒකනායක යන නිලධාරීහු සිදු කරති.